
ත්‍රිකුණාමලයේ සංචාරේ නියුතු “සංචාරේ” අප කණ්ඩායම තවමත් ගතකරන්නේ ත්‍රිකුණාමලය-කින්නියා-මුතූර්-තෝපූර්-සාම්පූර් ප්‍රදේශවලය. තනිකරම වෙරළබඩ කලාපයක් වන මෙම සම්පූර්ණ කලාපය අතිශය සංකීර්ණ පුළුල් ප්‍රදේශයක පැතිරුණු කලාපයකි. ත්‍රිකුණාමලය ස්වාභාවික වරාය වටා පිහිටි මෙම ප්‍රදේශයේ සුන්දරත්වය, වටිනාකම් ගැන අපි පසුගිය සති කීපයේම කතා කළෙමු. ත්‍රිකුණාමලය-සේරුවාවිල අවට සුන්දරත්වය විඳින්නට සහ ආගමික, විනෝද චාරිකාවල යෙදුණු බොහෝ දෙනෙක් නම් ප්‍රදේශයේ ඇති මෙම වෙනස්ම වූ අත්දැකීම ඉතා ඉහළින් ලබන්නට ඇති බව අපගේ විශ්වාසයයි.
අපි ද ඒ මග යමින් සහ ඊටත් වඩා අපූර්වත්වයන් සොයා ගිනි ගහන අව්වේ සංචාරය කළ අතර, එම චාරිකාවේදී අනෙකකු අත්විඳින දෑට වඩා වැඩි අත්දැකීමක් ලබන්නට අපට හැකි වූ බව මෙහිදී කිව යුතුය. පසුගිය සතියේ අප සංචාරය කළ ත්‍රිකුණාමලය වරායේ පහළ මායිමේ පිහිටි “සාම්පූර්” එවැනි ප්‍රදේශයකි. කාෂ්ඨක අව්වෙන් බැටකන, ජලය සහ වෙනත් පහසුකම් නොමැතිව දිවිගෙවන ජනතාවක් සිටින මෙම ප්‍රදේශය අග තැන්පත් වන්නේ සොබා සෞන්දර්යත්වයෙන් පමණි.

මෙසේ සාම්පූර් ප්‍රදේශයේ උදය වරුව ගතකළ අප “සංචාරේ” කණ්ඩායම අනතුරුව සැලසුම් කර තිබුණේ එහි සිට ත්‍රිකුණාමලය වරාය ඔස්සේ අතු බෙදී ගිය වරාය නරඹමින් මුහුදට ගොස්, එතැන් සිට කෝනේශ්වරම් කඳු ගැටය ඔස්සේ ත්‍රිකුණාමලයට උතුරින් පිහිටි නිලාවැලි, “පරෙවි දූපත” සමුද්‍රීය ජාතික උද්‍යානය දක්වා යෑමටය. ඒ අනුව හිරු නැගෙන දහවල නාවික යාත්‍රාවකට නැගුණු අපි, සාම්පූර් වෙරළෙන් පිටත්ව පළමුව පැමිණියේ වරාය මධ්‍යයේ පිහිටි කුරුලු දූපත වෙතට ය. කුරුල්ලන් ගැවසෙන මෙම දූපත, වරාය පරිශ්‍රයේ දකුණු දෙසට පිහිටා ඇත. පළපුරුදු නාවිකයින් විසින් පදවන ලද ඩිංගි බෝට්ටුවකින් එහි ගිය අපි කුරුලු දූපතට ගොඩ බැස එහි පහස විඳ ගන්නට අඩ හෝරාවක් පමණ ගත කළ අතර, අනතුරුව වරාය පරිශ්‍රයට අයත් ප්‍රධාන සහ ඉතා ප්‍රකට දූපත් දෙකක් වන “කුඩා සෝබර්” දූපත, සහ “ලොකු සෝබර්” දූපත වටා ගොස් අනතුරුව මහ සයුරට පිවිසුණේය.

බොහෝ දෙනකු සංචාරය නොකරන සහ එතරම් අවධානයක් නැති මෙම සුන්දර කලාපය දූපත්, කඳු ගැට, ගල් පර, සුන්දර වෙරළ තීර යනාදියෙන් පොහොසත් කලාපයකි. සැබැවින්ම මේ නම් සංචාරක කලාපයක් තරම්ම පොහොසත් ප්‍රදේශයක් වුවත්, වරාය නිසා සහ නාවික මූලස්ථානයක් නිසා මෙහි ඇත්තේ අධි ආරක්ෂිත තත්ත්වයකි. බොහෝ දෙනකුට මෙහි පැමිණ සංචාරය කරන්නට ඇති බාධාව ද එය බව අපි කල්පනා කරමු. කෙසේ හෝ මේ සඳහා ගන්නා ලද අවසරය නිසා “බලපත් ලාභීන්” බවට පත් වූ අපි, ඇති තරම් ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේ බෝට්ටුවක නැගී සංචාර කළෙමු.

අනතුරුව වරාය මුවදොරෙන් මහ සයුරට පිළිපන් අපගේ යාත්‍රාව උතුරු දෙස බලා ගමන් ආරම්භ කළේ පළමුව ත්‍රිකුණාමලය වරාය උඩ අන්තයේ පිහිටි “කෝනේශ්වරම්” කඳුගැටයේ අසිරිය නරඹනු රිසියෙනි. “කෝනේශ්වරම්” බලකොටුවේ සිට හෝ එනම් විහාරයේ (ගෝකණ්ණ) සිට හෝ එනම් කෝවිලේ සිට මහ මුහුදේ අසිරිය ඕනෑතරම් විඳ ඇති අපි මෙවර මහ සයුර මතින් පැමිණ සුප්‍රකට “ලවර්ස් ලීප්” පහළ සිට කෝනේශ්වරම් දෙවොලේ දර්ශන රූගත කළෙමු.

එතැනින් උතුරු දෙසට යාත්‍රාව ගෙන ගොස්, බටහිර දෙසට වක්‍ර කළ විට නැවත ඇත්තේ ධීවර වරායකි. ප්‍රංශ වරාය ලෙස ඇතැමුන් හඳුන්වන මෙම ස්ථානය ත්‍රිකුණාමල නගරයේ ප්‍රධාන මත්ස්‍ය වරාය පිහිටි ස්ථානය වේ. ත්‍රිකුණාමලය උතුරු මුහුදෙන් මසුන් මරන්නට යන (රස්සාවට යන) ධීවරයින්ගේ බෝට්ටු තොටුපළ වන මෙහි උදෑසන සිට මාළු වෙළෙඳාම ද යහමින් සිදුකෙරේ. අපගේ යාත්‍රාව වාමාවර්තීව ධාවනය කරන විට ත්‍රිකුණාමල පැරණි “පෙඩ්රික් බලකොටුව” දැකගත හැක. සැබැවින්ම කෝනේශ්වරම් කන්දේ දොරටුව මෙම පැරණි පෙඩ්රික් බලකොටුවයි. කෝනේශ්වරම් යායුත්තේ මෙම බලකොටුවේ ද්වාරය තුළිනි.
යාත්‍රාව ඉන්පසු දක්ෂිණාවර්තව ධාවනය කරමින් ඉදිරියට යන අපට ගල් පර අතරින් ඈතින් “පරෙවි දූපත” දැකගන්නට ලැබේ. කුඩා කඳුගැට දෙකක් මෙන් ඈතින් මුහුද මැද දිස්වන පරෙවි දූපත, ශ්‍රී ලංකාවේ පිහිටි තවත් එක සමුද්‍රීය ජාතික උද්‍යානයකි. හික්කඩුව ද සමුද්‍රීය ජාතික උද්‍යානයක් වන නමුදු, දූපත් උද්‍යානයක් වන්නේ පරෙවි දූපත පමණි. වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙහි පරිපාලන කටයුතු සිදුකරනු ලබයි.

“පරෙවි දූපත” නොහොත් “පිජන් අයිලන්ඩ්” යනු දූපත් දෙකකින් සමන්විත වූවකි. මේ අතරින් ලොකු පරෙවි දූපතට පමණක් ජනයාට ගොඩබැසිය හැකිය. ඒ සඳහා එම දූපත කදිමට හැඩ ගැසී ඇත. සිප්පි පිරි වෙරළකින් සමන්විත පරෙවි දූපතේ යහමින් පරෙවියන් ලගින නිසා පරෙවි දූපත ලෙස හඳුන්වනු ලබන බව කියනු ලැබේ. මෙහි පසෙක ඉංග්‍රීසි පාලන කාලයේ පටන් ඇති ඉදිකිරීමක් ද දක්නට ලැබෙන අතර, එහි පරෙවි ගල නමින් හැඳින්වන ගල් පර්වතයක් ඇත. මෙහි සැබැවින්ම පරෙවියන් දක්නට ලැබේ. කොටස් දෙකකින් සමන්විත ගල් පර සහිත මෙම දූපත, මධ්‍යය මුහුදු මට්ටමට ආසන්න තැනිතලාවක් වන අතර, වෙරළ ද ඇත්තේ එහිය. එහි සූරිය වැනි ශාක වැස්මක්ද ඇත. දෙපස ලඳු කැලෑ, ගල්පර ආශ්‍රිත වෙරළ ශාක ප්‍රජා වැනි ශාක විවිධත්වයක් ඇත. ඒ හැරෙන්නට දූපත ඉදිරිපස නොගැඹුරු මුහුදු කලාපය තුළ වටිනා කොරල් යායක් පැතිර ඇත. මේ තුළ විවිධ වර්ගයේ කොරල් ඇති අතර පොතු කැස්බෑවන් ඇතුළු ජලජ සත්ත්ව ප්‍රජාවක් ද වාර්තා වේ. මෙවැනි අසිරියක් බලන්නට, මුහුදේ කිමිදෙන්නට, මුහුදේ නාන්නට අපමණ ජනකායක් මෙහි පැමිණෙති. ඒ සඳහා නිලාවැලි මුහුදු වෙරළේ සිට බෝට්ටු සේවාවක් පරෙවි දූපත දක්වා ඇත.
මෙසේ නිලාවැලි මුහුදු තීරයෙන් බෝට්ටු සේවා ක්‍රියාත්මක වෙද්දී, අප රැගත් නාවික යාත්‍රාව මෙහි පැමිණියේ මුහුදේ සිටය. එනම් ත්‍රිකුණාමලයට උතුරෙන් යාත්‍රා කරමිනි. යාත්‍රාවකින් යාත්‍රාවකට මාරුවෙමින් අප ද පරෙවි දූපත බලා ගමන් ගත් අතර, ඉර අවරට හැරෙන තෙක්ම අප ගත කළේ පරෙවි දූපත තුළය. එහි සොබා සෞන්දර්යය උපරිමයෙන් අත්විඳි අපි, දූපතට සමුදී යළිත් අපගේ ප්‍රධාන යාත්‍රාවට පැමිණියේ දහවල් ආහාරය එහි සූදානම්ව තිබුණු බැවිනි. යාත්‍රාවේ සිටම ආහාරයෙන් සප්පායම් වූ අපි, නැවත මුහුදු මාර්ගයේම පැමිණ ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයට ඇතුළු වී එහි නාවික ජැටියකින් ගමන නිමා කරන ලද්දේ දින දෙක තුනක් තිස්සේ ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ගත කළ ඉතා අත්දැකීම් බහුල සංචාරයකට තිත තබමිනි. මේ ගමනේදී නාවික නිලධාරීන් ලබාදුන් සහාය අපි ඉතසිතින් අගය කරන්නෙමු.

ජගත් කණහැරආරච්චි
ඡායාරූප – වාසල සේනාරත්න සහ Heritage Lanka Creations/ FB – Travel Sri Lanka
සංචාරේ