ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය දේශීය සිසුන් බඳවා ගැනීම නැවත අරඹා තිබේ. මේ සඳහා අයදුම්පත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවිය හරහා ලබා ගත හැකි අතර අයදුම්පත් භාර ගැනීම 2025 ජූලි 18 වැනිදා අවසන් වේ. පස් අවුරුදු උපාධි වැඩසටහන සඳහා රුපියල් මිලියන 17.5 ක පාඨමාලා ගාස්තුවක් අය කෙරේ.
කොතලාවල වෛද්‍ය පීඨයට දේශීය සිසුන් බඳවා නොගැනීමට පසුගියදා ගත් තීරණයට දැඩි මහජන විරෝධයක් එල්ලවී තිබිණි. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ කමිටුවේ නිර්දේශ මේ වන විට ඉදිරිපත් කර තිබේ.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතාගේ සහභාපතිත්වයෙන් යුතු මෙම කමිටුව සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ යන මහත්වරු ඇතුළත් වෙති.
මෙම කමිටුව විසින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා කරුණු 10කින් යුත් නිර්දේශ ඉදිරිපත් කර ඇත. එක් වර්ෂයක් සඳහා එක් වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමක් පමණක් බඳවා ගැනීම, එම බඳවා ගන්නා සමස්ත වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව 150කට සීමාවීම මෙන්ම ගෙවීමේ පදනම මත බඳවා ගන්නා දේශීය සිවිල් වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව උපරිම වශයෙන් 100ක් වීම එම නිර්දේශවලට ඇතුළත්ය.
වෛද්‍ය ශිෂ්‍යයින් බඳවා ගැනීමේ දී ත්‍රිවිධ හමුදා සිසුන්, විදේශීය සිසුන් සහ දේශීය සිසුන් යන අනුපිළිවෙළට ප්‍රමුඛතාව ලබාදෙන අතර මෙහි කළමනාකරණ මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පරිදි වෛද්‍ය සිසුන් බඳවා ගැනීමේ නිර්ණායකයක් වශයෙන් 1.4 ක හෝ ඊට ඉහළ අවම ඉසෙඩ් අගයක් පවත්වා ගැනීමට කටයුතු කරනු ඇත.
චතුර පමුණුව