ඉලක්කය වූ ‘කොටහැර පොඩ්ඩා’ නිවසකට පැන දිවි බේරාගනී
ත්‍රිරෝද රථයේ සිටි මවකට හා දියණියකට තුවාල
ප්‍රහාරයෙන් පසු සෝදිසි මෙහෙයුමක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක යමින් සිටි පාතාල අපරාධකරුවකු වන කොටහැර පොඩ්ඩා ඇතුළු තිදෙනකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.
කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ යමින් සිටි මවක සහ ඇගේ 12 හැවිරිදි දියණිය ද වෙඩි ප්‍රහාරවලට ලක්ව තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල්ගත කර තිබේ.
මීට ටික කලකට උඩදී මන්නා රමේෂ්ගේ කල්ලියේ සාමාජිකයකුට කොටහැර පොඩ්ඩා පහරදී තිබූ අතර ඊට පළිගැනීමක් ලෙස ඔහු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
මන්නා රමේෂ් නමැති පාතාල නායකයා අවිස්සාවේල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පාතාල ක්‍රියාකාරකම්වල නිරතවී සිටින අතර ඔහු මේ වනවිට බන්ධනාගාරගතව සිටින බවද පොලිසිය පවසයි.
හංවැල්ල ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් නරඹා ආපසු නිවස බලා යමින් සිටි කොටහැර පොඩ්ඩා ඇතුළු තිදෙනා ගමන් ගත් ත්‍රිරෝද රථය ලුහුබැඳ යතුරුපැදියකින් පැමිණි පාතාල කුලී වෙඩික්කරුවන් දෙදෙනකු මිලිමීටර් 9 වර්ගයේ අවියක් යොදාගෙන එම වෙඩි ප්‍රහාර එල්ල කර ඇත.
ඊයේ අලුයම 2.10 ට පමණ මෙම වෙඩි තැබීම සිදු විය. ප්‍රහාරය එල්ල වීමෙන් පසු ත්‍රිරෝද රථයෙන් පැනගත් කොටහැර පොඩ්ඩා අසල නිවසකට දිව ගොස් එහි සැඟවී ජීවිතය බේරාගෙන තිබේ.
පසුව ප්‍රදේශවාසීන් විසින් තුවාල ලබා සිටි කොටහැර පොඩ්ඩා මව සහ ඇගේ දියණිය රෝහල්ගත කිරීමට කටයුතු කර ඇත.
මෙම ප්‍රහාරයෙන් පසු කොස්ගම සහ ඒ අවට ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කළේය.
කොස්ගම, රුවන්වැල්ල, දෙහිඕවිට, ගලපිටමඩ, අවිස්සාවේල්ල පොලිසිවල නිලධාරීන් සහ පූගොඩ විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබිණි.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එම ප්‍රදේශයේ තිබූ සී.සී.ටී.වී. කැමරා දර්ශන ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක කරගෙන යන බව පොලිසිය පවසයි.
ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිසිවකුත් ඊයේ සවස්වනතුරු අත්අඩංගුවට ගෙන නොතිබිණි.
හේමන්ත රන්දුණු