මෙය දෑ අවුරුද්දක් පරණ කතාවකි. එහෙත් අදටත් වලංගු කතාවකි. ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ තිබුණු ෆාමසියක් හැමදාම පාසල් දරුවන්ගෙන් පිරී ඉතිරී තිබෙණු දක්නා ලදී. ඒ නිසා එම ෆාමසියෙන් බෙහෙත් ගැනීමට දුබල රෝගීන්ට ඉඩක් නොවීය. දිනක් ෆාමසියට පොලිසියෙන් පැන්නේය. ඒ බේත් ගැනීමට නොව ෆාමසි අයිතිකාරයා අත්අඩංගුවට ගැනීමටය. වැටලීම සිදුවන අවස්ථාවේදී ඉතා බලගතු වේදනානාශක පෙති දහස් ගණනක් එම ෆාමසියේ තිබිණ. ෆාමසිකාරයා ඒවා වැඩි මිලට ළමයින්ට වික්කේය. මේ පෙති 2ක් ගැසූ විට කුඩු ගැසූ ආතල් එකක් ළමයින්ට ලැබිණ. සාමාන්‍යයෙන් මීට අවුරුදු 15කට පමණ පෙර ද මෙවැනි තත්ත්වයක් කොළඹ හා තදාසන්න ප්‍රදේශවලින් වාර්තා විය. ෆාමසිවල විකිණීමට තිබූ කැස්ස මර්දනයට දෙන පැණියක් ඉතා වේගයෙන් විකිණෙන්නට පටන් ගත්තේය. ඒවා මිලට ගැනීම අරඹා තිබුණේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විසිනි. මත් ලොල්ලෝ එම පැණි බෝතල් 2-3 එකවර බී කුඩුවලින් ලැබෙන ආශ්වාදය ලැබූහ. මේ කියන කාලයේදී හෙරොයින් කුඩු පැකට් එකක් රුපියල් 1000කි. කැස්ස පැණි බෝතලයක් රු. 125කි. කැස්ස පැණි බෝතල් 3ක් මිලට ගැනීමෙන් රුපියල් 1000 කුඩු ආතල් එක ගැනීමට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට හැකියාව ලැබිණ. ඒ අනුව ඒ කැස්ස පැණිය විකිණීම වහාම තහනම් කරන ලදී. මෙය මෝඩ වැඩකි. පිහියෙන් ඇන මිනී මරනවිට පිහි පාවිච්චිය තහනම් කරනු නොලැබේ. ගෙල වැලලාගෙන මියයෑම වැළැක්වීමට කියමින් ලනු පාවිච්චිය තහනම් කරනු නොලැබේ. මෙහිදී ආණ්ඩුව කළ යුතුව තිබුණේ දොස්තර කෙනෙක් දෙන නිර්දේශ තුණ්ඩුවකින් තොරව පෙර කී කැස්ස පැණිය විකිණීම තහනම් කිරීමය. මන්ද එක පැණියක් තහනම් කළැයි කියා මත්ලෝලියෝ අධෛර්යට පත් නොවෙති. එක හා සමාන කැස්ස පැණි සිය ගණනක් ෆාමසිවල තිබේ. ඒවායේ නම් වෙනස්ය. ෆාමසිකාරයෝ ද බිස්නස් අඩු වූ විට වැඩිමනක් නොසිතා මේ බෙහෙත් නිදහසේ විකුණති. එක අතකට කෙනකුට කැස්සක් තිබෙන විට ඒ සඳහා දොස්තර කෙනෙක් වෙත නොගොස් ෆාමසියකින් කෙළින්ම බෙහෙතක් ගැනීමට හැකි නම් ලොකු පහසුවකි. දොස්තර ගාවට ගිය විට චැනල් ගාස්තු ගෙවිය යුතුය. පෝලිමේ සිටිය යුතුය. දොස්තර කියන වෙනත් පරීක්ෂණ කළ යුතුය. මේ සියල්ල කළමනාකරණය කර ගැනීමට නම් සුළු ලෙඩ සඳහා ෆාමසි ඔස්සේ සුදුසු ඖෂධ ලබාගැනීමේ වරදක් නැත. එහෙත් ඉතාම ටික දිනකින් වැඩේ අනික් පැත්ත ගසනු ලැබේ. නුසුදුසු පුද්ගලයෝ නුසුදුසු බෙහෙත් ගෙන නුසුදුසු වැඩෙහි නිරත වෙති.
ලංකාවේ පාසල් අවට මත්ද්‍රව්‍ය වෙළෙඳාම ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇත. ලංකාවේ මත්ද්‍රව්‍ය වැටලීම් ද දිනෙන් දින ඉහළ යයි. 2018දී මත්ද්‍රව්‍ය අදාළ අත්අඩංගුවට ගැනීම් 98,752ක් මේ රටේ සිදුවිය. 2019දී එම ගණන 89,321කි. 2020දී 97,416ක් මත්ද්‍රව්‍ය නිසා ඇතුළට ගියහ. 2021දී එම ගණන 1,10,031කි. 2022දී 1,52,979 දෙනෙක් මත්ද්‍රව්‍ය නිසා පොලිස් අත්අඩංගුවට පත්විය. එතැන් සිට සංඛ්‍යාලේඛන අප සතුව නැත. මේ වනවිට අඩුම ගණනේ දෙලක්ෂයකට වැඩිදෙනෙක්වත් වාර්ෂිකව මත්ද්‍රව්‍ය වැරදි කර ඇතුළට යනවා ඇත. පාසල් අවට කඩවල් බොහොමයක කුඩු විකුණන්නේ නැත. එහෙත් කුඩු ආතල් එකට සමාන ආතල් එකක් දෙන පැණි පුවක්, බාබුල් යනාදිය පැකට් කර විකුණනු ලැබේ. පැණි පුවක් නමැති පුවක් වර්ගය සාදනු ලබන්නේ උක් පැණි, අරක්කු, බුලත් කන දුම්කොළ සාරය යනාදිය ද තවත් අමුද්‍රව්‍ය කීපයක් ද එකතු කරමිනි. මේ කියන ද්‍රාවණය දමා පල් කරන පුවක් කැබලි ස්වල්පයක් සැපූ විට දිව්‍ය ලෝකයට පොඩ්ඩක් මෙහායින් ලබාගත හැකි ආතල් එකක් මේ රටේ අධ්‍යාපනයට ලැදි ශිෂ්‍ය පරම්පරාවට ලබාගත හැකිය. එසේම ශ්‍රීමතුන්ගේ නමින් එන මදන මෝදකය කා කිරි කාලක් බීමෙන් ද පෙර කී අර්ධ දිව්‍ය සැපත ලැබේ. මේ සැප ස්නායුවලට හොඳ නැත. මේ සැප ලබන තරමටම ස්නායු ගෙවී යයි. අන්තිමට අසනීපයක් වූ විට මේ දරුවෝ කිසිසේත්ම නිර්වින්දනය නොවෙති. ඔවුන් නිර්වින්දනය වන්නේ ඝාතනයකට ලක්වුණොත් පමණි.
මේ භයානක තත්ත්වය තේරුම් ගැනීමට හැම ආණ්ඩුවක්ම උත්සාහ කළ ද හැම ආණ්ඩුවකටම තේරුම් ගියේ එයින් භාගයක් පමණි. එවිට ආණ්ඩුව කරන්නේ කුඩු ගසන, මදන මෝදක කන, බාබුල් සහ පැණි පුවක් හපන ළමයින් අල්ලා පීඩාවට පත් කිරීමය. ඒ වෙනුවට වඩාත් මානුෂික වූ ද වඩාත් ප්‍රායෝගික වූ ද ප්‍රවේශයක් තුළින් මේ තත්ත්වය පාලනය කළ යුතුය. ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගැනීමට 30 අවුරුදු යුද්ධයක් කිරීමට අපට සිදුවිය. දැන් අපට සිදුව ඇත්තේ මත්ද්‍රව්‍යවලින් ජාතිය බේරාගැනීම සඳහා සටන් කිරීමටය.