ලංකාවේ ළමා ජනගහනය හැටපන් ලක්ෂයකි. එයින් තිස් දහසක් මහ පාරේ හිඟා කති. ලංකාවේ වැඩිහිටි ජනගහනය එක්කෝටි අනූ ලක්ෂය ඉක්මවයි. එයින් ලක්ෂයක් පමණ මහ පාරේ හිඟා කති. තවත් පනස් ලක්ෂයක් පමණ හිඟා නොකා හිඟා කති. ඒ අතර ලංකාව තුළ බිලියනපතියන් දහතුන් දහසක් පමණ සිටිතැයි සංඛ්‍යා ලේඛනවල දක්නට ලැබේ. එය කිසිසේත්ම විශ්වාස කළ නොහැකි තත්ත්වයකි. දැනටමත් මේ රටේ බිලියනපතියෝ හය හත් සීයක්වත් වෙසෙති. එසේම කෝටිපතියෝ ලක්ෂ ගණනක් වෙසෙති. අද මේ රටේ තිබෙන ඕනෑම නිශ්චල දේපළක් රුපියල් මිලියනයකට වඩා වටී. ඒ නිසා අපට හිතෙන හැටියට මේ රටෙන් තුන් කාලකටත් වඩා මිලියනපතියෝය.
කුඩා දරුවන් සිඟමනේ යෙදවීම ජූලි මස 01 වැනිදායින් පසු නීතියෙන් තහනම් ය. 1970න් පසු මේ රටේ බලයට පත් වූ හැම ආණ්ඩුවක් යටතේම යාචක දරුවන් ගණන වැඩි විය. එසේ තිබියදී දරුවන් සිඟමනේ යෙදවීම තහනම් කරන්නට ඒ ඒ ආණ්ඩුවලට අමතක වී ද? අපේ අදහස මෙසේය. ළමයින් සිඟමනේ යෙදවීම නීතියෙන් තහනම් ය. එහෙත් එම නීතිය කිසිම ආණ්ඩුවක් ක්‍රියාත්මක කර නැත. ලබන 01 වැනිදා සිට එම නීතිය ක්‍රියාත්මක කරනවා විය යුතුය. ළමයින්ට පමණක් නොව වැඩිහිටියන්ට ප්‍රසිද්ධ ස්ථානවල හිඟා කෑම තහනම් ය. අප්‍රසිද්ධියේ හිඟා කෑමක් මෙහි නොහැඟේ. මේ නිසා මේ රටේ දුගී ජනයා එකිනෙකාට ණය වෙමින් ද එකිනෙකාගෙන් මුදල් ඉල්ලමින් ද එකිනෙකාගෙන් ද්‍රව්‍යමය ආධාර ලබාගනිමින් ද සිය ජීවිකාවේ අඩුපාඩු සපුරා ගනිති. මේ රටේ නීති නිසි පරිදි ක්‍රියාත්මක නොවේ. උදාහරණයක් ලෙස; අරක්කු බී මහ පාරේ පයින් යෑම තහනම් ය. එහෙත් එය ක්‍රියාත්මක නොවේ. එසේම සිගරැට් බොමින් මහ පාරේ ගමන් කිරීම තහනම් ය. එම තහනම කවුරුත් සත පහකට ගණන් නොගනිති. එසේම සිගරැට්ටුව බොමින් වාහන එළවීම ද තහනම් ය. ප්‍රයිවට් බස් රියැදුරෝ සිගරැට් ද බීඩි ද උරමින් බස් එළවති. නීති තිබුණාට ඒවා ක්‍රියාත්මක නොවේ නම් එම නීතිවලින් ඵලක් නැත. නීතිය තිබෙන්නේ නීතිඥවරුන්ට මුදල් උපයා ගැනීමට පමණක් නොවේ; නීතියෙන් මිනිසුන්ට ද සාධාරණයක් විය යුතුය.
ලංකාවේ යාචකත්වය ලොකු ව්‍යාපාරයකි. මෙම ව්‍යාපාරය ඇතුළේ විශාල පිරිසක් ක්‍රියාත්මක වෙති. මේ රටේ සෑම පූජනීය ස්ථානයක් අසලමත් සෑම ට්‍රැෆික් ලයිට් එකක් අසලමත් හිඟන්නෝ විශාල වශයෙන් සිටිති. ඔවුහු මිනිසුන්ගෙන් මුදල් ලබාගන්නේ තර්ජනය කිරීමෙනි. ට්‍රැෆික් ලයිට් අසල සිටින හිඟන්නන් වාහන ළඟට පැමිණ මුදල් ඉල්ලනවිට වාහන තුළ සිටින අයට බය සිතේ. සල්ලි නොදුන්නොත් මේ සිඟන්නන් කාසියක් ගෙන වාහනයේ ඉරක් ඇඳ හානි කිරීමට ඉඩ ඇත. නැත්නම් වාහනයට කිසිවකින් පහර දීමට ඉඩ ඇත. මෙවැනි දේ සිදුවී තිබේ. එබැවින් මේ පිළිබඳ කතා අසා ඇති අය වහාම යාචකයන්ට මුදල් දෙති. එවිට යාචකයෝ දිගටම සිය වෘත්තිය කරගෙන යති. ලංකාවේ යාචක බිස්නස් එක කරන මුදලාලිලා වෙනම සිටිති. ඔවුන්ට වාහන පවා තිබේ. ඔවුන්ට අයත් යාචක ප්‍රදේශ රට පුරා ඇත. මෙකී ඒරියාවල සිඟාකෑමට නම් හිඟන මුදලාලිලාට කප්පම් දිය යුතුය. නැතහොත් අනවසර හිඟන්නාට පහර දී පලවා හරිනු ලැබේ. මෙය මෙතැනින් නවතින්නේ නැත. ඇතැම් මුදලාලිලා ගෙවල් කුලියට ගෙන ඒවායෙහි හිඟන්නෝ නවතාගෙන සිටිති. මේ සිඟන්නන් සෑම උදයකම වාහනවලින් කැලණි පන්සල, කොච්චිකඩේ පල්ලිය, අනුරාධපුරය, කතරගම දේවාලය ඇතුළු රටපුරා තිබෙන පූජනීය ස්ථානවලට ප්‍රවාහනය කරනු ලැබේ. දවල්ට මුදලාලිගේ වියදමෙන් කට්ටියටම කෑම ලැබේ. හිඟන්නන් වැඩි දෙනා බත් පාර්සල් වෙනුවට මුදල් හිඟා කෑමට කැමැත්ත දක්වන්නේ මේ නිසාය. හවසට මේ සිඟන්නන් පිරිස මුදලාලිගේ වාහනයේ නැඟී සිය පොදු වාසස්ථානයට යති. එහිදී දවසේ කලෙක්ෂන් එක හිඟන්නන් විසින් මුදලාලිට දිය යුතුය. එහිදී ප්‍රවාහන ගාස්තුත් කෑම වියදමත් වාසස්ථානය සඳහා වන ගාස්තුත් හිඟා කන තැන බිම් කුලියත් කපා ගන්නා මුදලාලි ඉතිරි මුදල හිඟන්නාට දෙයි. මෙය WIN WIN SITUATION එකකි. හවස් වනවිට මුදලාලිත් හිඟන්නාත් යන දෙදෙනාම ජයග්‍රහණය කර අවසන්ය. මේ නිසා දෙදෙනාම සතුටිනි. වැඩිමනක් ආදායමක් නොලැබුණු හිඟන්නන්ට කෑම බීම දීමත් වාසස්ථානය දීමත් මුදලාලි සිදු කරයි. හැබැයි ඒ සෙල්ලම හැමදාම කළ නොහැකිය. මුදලාලිට වංචා කර හසුවන සිඟන්නන්ට දරුණු දඬුවම් දෙනු ලැබේ.
හිඟාකෑම සඳහා කුඩා දරුවන් කුලියට ගැනීමට පුළුවන. සාමාන්‍යයෙන් මෙවැනි දරුවකුට ආහාර පාන ලබා දී රුපියල් පන්දහසක් ගෙවිය යුතුය. දරුවා ඇකයේ හොවා ගන්නා කාන්තාවන් සුපර් මාර්කට් අසලත් වෙනත් ප්‍රසිද්ධ ස්ථානවලත් හිඟා කයි. මේ දරුවන් හැමවිටම නිදිය. එයට හේතුව එම දරුවන්ට කිසියම් නිද්‍රාජනක ඖෂධයක් පෙවීමය. දිනපතා මේ බෙහෙත් පොවන විට පොඩි එකාගේ ස්නායු සම්පූර්ණයෙන්ම විනාශයට පත්වෙයි. අවසානයේදී අවුරුදු 12, 13 වනවිට ඒ ළමයාට කුඩුවලින් යැපීමට සිදුවෙයි. මෙවැනි දරුවන්ගේ ආයු කාලය අවුරුදු 15 ඉක්මවන්නේ නැත. ඒ පිළිබඳ ඉතා දීර්ඝ ඛේදජනක කතාවක් වෙනම තිබේ. එම ඛේදජනක කතාව විස්තර කිරීමට මේ මොහොතේදී අපට ඉඩකඩ නැත.
ආණ්ඩුව හිඟාකෑම තහනම් කරන්නේ නම් හිඟන්නන්ගේ ජීවනෝපාය වෙනුවෙන් කිසියම් විකල්පයක් යෙදිය යුතුය. යාචකයා යනු, මසකට රුපියල් ලක්ෂ 3-4ක් උපයන කෙනෙකි. ඒ නිසා ඔහු තම රස්සාව අත්හැරීමට කැමති නැත. යාචකයන් අල්ලා ඔවුන්ට ලක්ෂ 3-4ක් දීමට ආණ්ඩුවට ද පුළුවන්කමක් නැත. මේ නිසා මේ සංකීර්ණ ප්‍රශ්නය විසඳීමේදී දැඩි පියවර ගැනීමට සිදුවේ. යාචකයන් කඳවුරුවලට කොටුකර දැඩි ආරක්ෂාව යටතේ තබා කිසියම් වැඩක යෙදවිය යුතුමය. නැතහොත් මේ ප්‍රශ්නයට විසඳුමක් නැත. මේ ප්‍රශ්නය දුරදිග ගියොත් අපට සිදුවන්නේ ද හිඟන්නන් සමගම එක්වී සිඟාකෑමට ය.