තාත්තා සහ එක් සහෝදරයෙක් රාගම දුම්රිය ස්ථානයේ
‘දිවයින’ මාධ්‍යවේදියා මැදිහත්වී දරු දෙදෙනා දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට භාර දෙයි
ඊයේ (25දා) පෙරවරු 9.25ට පමණ රාගම දුම්රිය ස්ථානයට ළඟාවූ මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය මගීන් සියලු දෙනා දුම්රියට නැඟීමට පෙර ධාවනය ආරම්භ කිරීම නිසා දුම්රියට නැඟගත් කුඩා දරුවෝ දෙදෙනෙක් සිය පියාගෙන් වෙන්වී අතරමං වූහ.
දුම්රියට නැඟ සිටි වයස අවුරුදු 10ක තරමේ ගැහැනු දරුවා සහ වයස අවුරුදු 2ක පමණ පිරිමි දරුවකු මෙසේ අතරමංවූ අතර පියා සහ වැඩිමහල් දියණිය රාගම දුම්රිය ස්ථානයේ ඉතිරි වූහ.
දුම්රිය මගීන්ගේ තොරතුරු මත අතරමංව සිටි දරුවන් දෙදෙනා ‘දිවයින’ මාණ්ඩලික මාධ්‍යවේදියකු විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති කාර්යාලය වෙත ගෙන ගොස් නිරුපද්‍රිතව භාරදුන් අතර දුම්රිය ධාවනය වන අවස්ථාවේදීම ඔහු විසින් රාගම දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබාදී දරුවන් දෙදෙනාගේ පියාට පණිවුඩයක් ලබා දෙන මෙන් පවසා මෙසේ දරු දෙදෙනා දුම්රිය බලධාරීන්ට භාරදී ඇත.
ළමයින් දෙදෙනා සිය පියාගේ හෝ වැඩිමහල් සොයුරියගේ දුරකථන අංකයක් නොදැන සිටි අතර දුම්රියෙන් බසින ස්ථානයක් ද දැන සිට නැත.
මගීන් දුම්රියට නැඟීමේදී සහ බැසීමේදී දුම්රිය කාර්යමණ්ඩලය මීට වඩා සුපරීක්ෂාකාරී විය යුතුව ඇතැයි දුම්රිය මගීහු කියා සිටියහ.