දෙවියන් ගැන සාහිත්‍ය
මහමන්ධාතු සක්විති රජුගෙන් පැවත එන විරෝචන රජුගේ ඇවෑමෙන් එතුමාගේ පුත් බලිකුමරු අසුර රජු බවට පත්විය. බලි අසුර රජු මහමන්ධාතු රජු ලෙසින් ප්‍රබල විය. ලොවම ජය ලබා සක්විති රජු බවට පත්විය. එතුමා ද ලංකාව මූලික ස්ථානයෙහි තබාගෙන රජ සැප වැළදීය. ඒ රජුගේ ඇවෑමෙන් තාරක, සිංහමුඛ, ගජමුඛ සොහොයුරන් එකතුව අසුර රාජ්‍ය පාලනය ගෙන ගියහ. තාරක අසුර රජු – කළුතර වේලාපුර නමින් අලංකාර නගරයක් ඉදිකොට රාජ්‍ය පාලනය ගෙන ගියේය. ඔහු ජනාදරයට පත්විය. තාරක අසුර රජු ගෙනගිය අසුර රාජ්‍යයේ බලය නැවතත් මහා යුද්ධයකින් බිඳීගොස් ශ්‍රී ස්කන්ධ නම් වූ සුර කුමරුට ජය අත්විය. තාරක අසුර රජු හා ස්කන්ධ කුමරු අතර සිදුවූ මහා සටනින් කතරගම කඳුවැටිය හා මහා කළුගල් පර්වත දැවී අළු විය. මෙම යුද්ධයෙන් පසුව කාචරග්‍රාමය මුල්කොට ගෙන සූර්ය පුත්‍රනම් කුමරෙක් රජ විය. එතුමාගේ ඇවෑමෙන් හේති රාක්‍ෂ කතරගම සිට ශ්‍රී ලංකාව පාලනය කළේය. ඉන් පසු ලෝක පාලක රජවරුන් ලක්දිවින් බිහිවූයේ නැත. සුන්දර වල්ලි සහ ගජවල්ලි සොහොයුරියන් දෙදෙනා කඳ කුමරුගේ බිසෝවරු වෙති.
ලස්සන කුමරියන් දෙදෙනකු උකුළෙ තබා
පස්කම් සැප විඳින ලොව කිසිවකුට නොබා
තිස්සෙම සැමට පිහිට දුක් තැවුලු ඔබා
වස්තුව ඔබයි බබළන තුති කුසුම් ලබා
හින්දු දේව පුරාණය අනුව සුන්දරවල්ලි සහ ගජවල්ලි ලෙස දෙවගනන් දෙදෙනකු සිටි බව සඳහන්වේ. සුන්දරවල්ලි යනු ආකර්ෂණීය ලස්සන යන අරුත ගෙන දෙන අතර ගජවල්ලි යනු ශක්තිමත් එඩිතර බවයි. ශුක්‍ර දිව්‍ය රජයාගේ දියණිය වූ ගජවල්ලි හෙවත් තේවානි හස්තියකු වාහනය කරගත් අතර ස්කන්ධ කුමරු ද මෙම හස්තියා වාහනය ලෙස භාවිතා කළ බව උතුරු ඉන්දියානු පින්තූරවල දැකගත හැකිය. දිනක් බලගතු ඍෂිවරයකු ගමන් කරන මාර්ගයේ සිටි, සුන්දරවල්ලි එම ඍෂිවරයා ගනන් නොගෙන ගරුසරු නොමැතිව සිටි නිසා කෝපයට පත්වූ එම ඍෂිවරයා “නුඹ අවුරුදු ගණන් මනු ලොව ඉපදී දුක්විඳිය යුතුය” යනුවෙන් ශාප කර ඇත. ඒ අනුව දෙව් ලොවෙන් චුත වූ සුන්දර වල්ලි මවක පියෙකු නොමැතිව ඕපපාතිකව සෙල්ලකතරගම මහ වනය මැද පහළවිය. ඇයගේ ආරක්‍ෂකයන් වූයේ මුව රංචුවකි. අසුර යුද්ධයේ තීරණාත්මක අවස්ථාව එළැඹියේ කතරගම අඩවියේ බැවින් කඳකුමරුට සිය ක්‍රියා ශක්තිය වර්ධනය කරගැනීම සඳහා වල්ලි කුමරිය සෙල්ලන් දූවේ මැවූ බව හින්දු දේව පුරාණය පෙන්වා දෙයි. මුවදෙනකගෙන් කිරි බී වැඩෙන සුන්දර වල්ලි කුමරිය නෙත ගැටුණේ නාරද ඍෂිවරයාටය. එතුමා ශිව දෙවියන්ගේ උපදෙස් මත ආදිවාසීන්ගේ රැකවරණය ලබා දීමට ක්‍රියා කළේය. මේ පුවතින් සසල වූ කඳකුමරු හෙවත් ශ්‍රී ස්කන්ධ දිව්‍යරාජයා මිනිස් වෙසින් මෙහි පැමිණියේය. ගණ දෙවියන්ගේ උපදෙස් මත ක්‍රියා කරමින් වල්ලි කුමරිය ඍෂිවරයාගේ ශාපයෙන් මුදාගෙන යළිත් දේවත්වයට පත්කර ගත් බව මේ පිළිබඳ අදහස් දැක්වූ ගුප්ත විද්‍යා ගවේෂක රාජේන්ද්‍රන් සුදර්ශන් මහතා පැවසීය.
හිමාලයේ කෛලාශ කූටයේ පාමුල සරවත විල අසල විසූ නාරද ඍෂිවරයා වරින් වර කතරගම පැමිණි බවත් වර්තමානයේ ගණ දෙවි කෝවිල පිහිටි සෙල්ලකතරගම තාපස ආරාමයක් පවත්වාගෙන ගිය බවත් ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන්ය. ජාත්‍යන්තර කීර්තියට පත් හෙන්රි පාකර්, පුරාවිද්‍යාඥයා පවසා තිබුණේ කතරගම ඇති වල්ලි මාතා දෙවොල ‘සිංහල වංශය’ ආරම්භයටත් පෙර සිට පැවති බවය. වර්ෂ 1855 දී රුහුණු මහ කතරගම දෙවොලේ කලමනාකරු වල්ලිමාතා දේවාලයේ ද රාජකාරි කළ බව පැරණි ලේඛනයන්හි සඳහන් වේ. හෙන්රි පාකර් විද්වතාට අනුව විජය කුමරු මෙරටට පැමිණීමට පෙර සිට ජීවත් වූ ඉයක්කාර – නාග ගෝත්‍රිකයන් වල්ලි දෙවඟනට හා ස්කන්ධ කුමරුට පූජා පවත්වා තිබේ.
කතරගම දේව පූජෝත්සවයේ ප්‍රධාන අංගය ලෙස දැකිය හැකි පෙරහැර මංගල්‍යයේදී වාසනා ඇතුපිට වැඩමවා ගත් ශ්‍රී ස්කන්ධ කුමාර දෙවිඳුන් වැඩසිටින කරඬුව වල්ලි මාතා දේවාලයට ඇතුළු වූ විගස එහි මාලිගය (රහස් කුටිය) තුළදී විශේෂ භෝජන සංග්‍රහ සහිත මංගල කෑම මේසය විවෘත වේ. තල, කුරහං, මෙනේරි සහිත කෑම වර්ග ද ඉන්දියාවෙන් ගෙන්වනු ලබන ‘කේසරී’ නමැති ධාන්‍ය වර්ගය යෙදූ පැණි බතක් ද විවිධ අල වර්ග ද ගිතෙල්, මීපැණි යෙදූ කැවිලි වර්ග ද, මෙම භෝජන සංග්‍රහයට ඇතුළත්ය. මේ හමුවීමෙන් පසු කඳකුමරු සිරි වල්ලි කුමරියට සමුදී යළිත් පෙරහැරට එක්වෙති. මාතෘ දේව සංකල්පයේ එන සුන්දර වල්ලි දෙවඟනක් මිස ආදිවාසි තරුණියක් නොවේ. දෙවියන්ගේ පාද පරිචාරිකාව වනුයේ දෙවඟනකි.
අරණායක ප්‍රදේශයේ සැලව රජමහ විහාරයේ කලක් වැඩවිසූ මොරතොට ධම්ක්ඛන්ධ හිමියන් විසින් දෙවැනි රාජසිංහ රජතුමාට පැවසූ කවියක මෙසේ සඳහන් විය.
සකල මුව තඹර සියොගත සියු මැලියේ
ඇසළ මස දුටිමි යනවා දෙව් කෙළියේ
ඓතිහාසික රෝහණ රාජධානියේ මැණික් ගංගාව ආශ්‍රිතව බිහිවූ – කාචරග්ග්‍රාම ශිෂ්ටාචාරය තුළ දෙවියන් පිදීමේ සිරිත – කවදා කෙසේ ආරම්භ වූවාදැයි කිව නොහැකි, අනාදිමත් කාලයක සිට පවතින සිරිතකි.
‘ඇම්බැක්කේ වර්ණනාව’ ග්‍රන්ථයෙහි ඇතුළත් මෙම කවියෙන් ලිපිය අවසන් කරමි.
මයුර වාහන පැන නැඟී සිට අතින් ගෙන දදය ද සැවුල්
කතරගම් පුර කුමර දෙවියනි ඔබට වේවා ජය මඟුල්

නිමල් කුඩාතිහි
කතරගම