ආශා රණසිංහගේ ‘අතථි’ නවකතාව පසුගියදා එළිදැක්විණි. මේ කතාබහ ඇය සමගය.
ප්‍රශ්නය – දීර්ඝ කාලයක් මුහුණු පොත හරහා නිර්මාණකරණයේ නියැලී සිටි ඔබ පළමු මුද්‍රිත නිර්මාණයත් රැගෙන පාඨකයන් අතරට එනවා. නවක ලේඛිකාවක ලෙස මේ වෙලාවේ ඔබට දැනෙන්නෙ මොන වගේ හැඟීමක් ද?
පිළිතුර – මම වඩාත් ම කැමැති ක්ෂේත්‍රයට පිවිසිලා එහි මුල් ම ප්‍රතිඵලය මෙලෙස එළිදැක්වීමට හැකිවීම ගැන තියෙන්නෙ නිහතමානී සතුටක්. ඒ වගේ ම මේ නවකතාව නිර්මාණය කිරීමේදී ඒ සම්බන්ධ ප්‍රාමාණිකයන්ගෙන් ලැබුණ අතහිතත් මම බෙහෙවින් අගය කරනවා. ඇත්තෙන් ම එය මට මහත් ගෞරවයක්, ඒ වගේ ම අභිමානයක්. ජීවිතයේ මා අත්විඳි ඉහළ ම සතුට සහ ගෞරවය මේ කෘතිය එළිදැක්වීමේ දිනය දා ලැබුවා කියා කියන්න පුළුවන්.
ප්‍රශ්නය – ඔබේ නිර්මාණ ජීවිතයේ ආරම්භය ගැන සඳහන් කළොත්?
පිළිතුර – නිර්මාණ හැකියාව පාසල් කාලයේ පටන් ම තිබුණා. නමුත්, ඊට ප්‍රතිවිරුද්ධ විෂය ධාරවක් උසස් පෙළ සඳහා තෝරා ගැනීම නිසා ඒ හැකියාවන් යටපත් වුණත්, නැවත මුහුණු පොත හරහා දිගු කාලයක් නිර්මාණ කටයුතුවල නියැලීමෙන් එම හැකියාව ඔපමට්ටම් කරගන්න ලැබුණා. ඒ වගේ ම විවිධ ලේඛකයන්ගේ කෘති කියවලා පාඨකයෙක් විදිහට යම් යම් විචාර සටහන් තැබුවා. එයින් මගේ නිර්මාණශීලීත්වය වගේම, සාහිත්‍යය දැනුමත් වර්ධනය වුණා.
ප්‍රශ්නය – ඔබේ කුළුඳුල් නවකතාවේ නම ‘අතථි’. එය නවකතාවකට තරමක් වෙනස් නමක්. සූත්‍ර පිටකයේ දී මේ නම අපට හමුවෙන්නේ ‘අතථි’ ප්‍රත්‍යය‘ ලෙස යි. මෙහි අර්ථය ‘ආගන්තුක’ ලෙසත් තවත් තැනෙක සඳහන්. ඔබ මේ වදන ඔබේ නවකතාවට යොදාගත්තේ කුමන අරුතකින් ද?
පිළිතුර – ‘අතථි’ යන්නෙහි ආගම හා බැඳුන නිර්වචනය මගේ කතාවේ හරය හා සම්බන්ධ නැහැ. ‘ආගන්තුකයා’ එහෙම නැත්නම්, ‘අමුත්තා’ යන අර්ථයෙන් එය නවකතාවේ නමට යෙදුවා. නවකතාව ලියා අවසන් වෙද්දී එයට උචිතම නම එය බව මට වැටහුණා. ‘අමුත්තා’ ලෙස යොදනවාට වඩා ‘අතථි’ යන වචනයේ අමුත්තක් පාඨකයාට දැනෙනු ඇතැයි මා සිතුවා. අනෙක එම චවනයේ ගැඹුරක් ඇති බවත් කල්පනා කළා.
ප්‍රශ්නය – නවකතාවක පළමු වැකිය හෝ දෙක වඩාත් වැදගත් වෙන්නේ පාඨකයාට එය ඉදිරියට කියවාගෙන යන්නට එමගින් පෙළඹවීමක් ඇති කරන නිසා යි. ඔබ එය සිදුකරන්නේ මේ ආකාරයට. ‘ඉහින් කනින් ඩහදිය වැගිරෙද්දි අසනි ඇඳ මත හිඳ ගත්තාය. නින්දෙන් තිගැස්සී අවදිවීම ඇයට නුපුරුදු අත්දැකීමක් නොවුන ද උඩු සිතින් බැහැරව සිදුවන එම අවිඥානිත මොහොත තුළ ඇය ඇයටම අවනත නොවුණා ය.’ ඔබ මෙය හිතා මතා සිදුකළ දෙයක් ද?
පිළිතුර – ඔව්. යම් කුතුහලාත්මක හැඟීමක් පාඨකයා තුළ ඇති කිරීම ප්‍රධාන අරමුණ වුණා. ඒ අතර ම කතාවේ ප්‍රස්තූතය සඳහා හොඳ ප්‍රවේශයක් එයින් ගැනීමට හැකි වෙයි කියා මා සිතුවා.
ප්‍රශ්නය – ‘අතථි’ නවකතාවට වස්තු විෂය අත්දැකීම් පිළිබඳවත්, එහි තේමාව මොන වගේ එකක් ද යන්නත් පාඨකයන් දැන ගන්න කැමැති ඇති. ඒ ගැන සඳහන් කළොත් ?
පිළිතුර – කතාවේ ප්‍රධාන තේමාව යුද්ධය නිසා තම සැමියා අහිමිවන බිරිඳකට මුහුණ පෑමට සිදුවන සිද්ධි දාමයක් වුවත්, ප්‍රධාන තේමාව තුළ මම තවත් පණිවුඩ කිහිපයක් පාඨකයා වෙත රැගෙන යන්නට උත්සුක වුණා. කතාවට ගැළපෙන ලෙස චරිත මවන ගමන් තවත් අතුරු කතා කිහිපයක් කතාවේ තේමාවට හානි නොවන පරිදි නිර්මාණය කළා. ස්ත්‍රී පුරුෂ බැඳීම්, ජාතිවාදය, සමාජ සම්මතයන්, සමාජ අසම්මතයන්, යුද්ධය හා ඒ තුළින් අහිමි වන මනුෂ්‍යත්වය, ප්‍රේමය වැනි සංවේදනා ගැඹුරින් ‘අත’ නවකතාව තුළින් හොවා දක්වනවා.
ප්‍රශ්නය – නවක, ප්‍රවීණ භේදයකින් තොරව වර්තමානයේ නිර්මාණකරණයේ යෙදෙන බොහෝ ලේඛක ලේඛිකාවන් බස පිළිබඳ එතරම් සැලකිල්ලක් දක්වන බවක් පෙනෙන්න නැහැ. ඒත්, ඔබ මේ කුළුඳුල් නවකතාව තුළ බස හැසිරවීමේ දී අක්ෂර වින්‍යාස, උක්තාඛ්‍යාත, පද සංවිධානය ගැන ආධුනිකත්වය ඉක්මවා ගිය ශක්‍යතාවක් පළ කරනවා. එය ඔබ භාවිතයෙන් ළඟාකර ගත්තක් ද?. නැතිනම් කිසියම් කෙනෙක් ඒ සම්බන්ධයෙන් ඔබට උදව් කළා ද?
පිළිතුර – මගේ බස නිර්මාණශීලි වීමට මෙන් ම, ඔබ ඉහත කී ශක්‍යතා බොහෝ දුරට නිවැරදි වීමට ප්‍රධාන හේතුව පොත පත කියවීම වගේ ම, නිරන්තරව නිර්මාණකරණයේ යෙදීම කියා මා සිතනවා. මම සඳැස් කවි සහ නිසැඳැස් කවි ලියන්නත් යම් ප්‍රතිභාවක් දක්වනවා. අනෙක් අතට මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන් ඇතුළු මා වටා සිටින ප්‍රාමාණිකයන් නිරතුරුව මෙහි දී මට අවශ්‍ය ගුරුහරුකම් ලබා දී මා නිවැරදි කළා.
ප්‍රශ්නය – ‘අතථි’ නවකතාව ලියද්දීත්, එය මුද්‍රණය කිරීමේදීත් ඔබ මුහුණ දුන් අභියෝග ?
පිළිතුර – නවකතාව ලියද්දි මවක්, බිරිඳක්, ව්‍යාපාරිකාවක් ලෙස මගේ කාලය කළමනා කරගත යුතු වුණා. සැමියාත්, දරු දෙදෙනා හා මගේ මවත් විශාල සහායක් ලබා දුන් නිසා මට එම අභියෝගය ජය ගන්න හැකි වුණා. පොත මුද්‍රණය කිරීම නම් විශාල අභියෝගයක් වුණා. ඒ, නවකයන් සඳහා අතහිත දෙන ආයතන අපේ රටේ අඩු නිසා. අවසානයේ මට මගේ පොත ගැන දැඩි විශ්වාසයක් පවතින නිසාත්, ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයන්ගේ නිර්දේශ මේ තුළ පවතින නිසාත් මවිසින් ම මෙය මුද්‍රණය කරන්නට තීරණය කළා. ඒ, ‘සහස’ නමින් මගේ ම වන ප්‍රකාශන ආයතනය ආරම්භ කරමින්.
ප්‍රශ්නය – කෙටිකතාවක් ලියනවාට වඩා නවකතාවක් ලිවීම පහසු ය යන්න අද අපේ සමාජයේ මුල්බැස ගත් මතයක්. ඒත්, හොඳ නවකතාවක් ලියන එක ඒ තරම් පහසු නැහැ. නවක නවකතා රචිකාවක ලෙස ඔබ මෙය දකින්නෙ මොන විදිහට ද?
පිළිතුර – කෙටිකතාවකින් එක් නිශ්චිත වූ සිද්ධියකට මූලිකත්වය දීමෙන් යම් පරාසයක් තුළ අදාළ පණිවුඩය හා රසය පාඨකයාට ලබාදිය යුතු වෙනවා. එය තරමක අභියෝගයක් තමයි. නවකතාවක එකිනෙකට බද්ධ වූ සිද්ධි කිහිපයක් පවතිනවා සේ ම, අපට අවශ්‍ය පරාසය තුළ අප දෙනු ලබන පණිවුඩය හා රසය පාඨකයාට ලබාදෙන්න පුළුවන්. නවකතාවක් ප්‍රශස්ත එකක් වීමට නම්, එම සිද්ධි එකිනෙක ඉතා ම හොඳින් ගැළපීම සිදුවිය යුතු වෙනවා. එසේ ම, තෝරාගත් ප්‍රස්තූතයට එමගින් හානි සිදු නොවිය යුතු යි. එය නවකතාකරුවකුට එය අභියෝගයක් වෙන්නේ එවිට යි. කෙසේ නමුත්, නවකතාව වේවා කෙටිකතාව වේවා ප්‍රශස්ත ලෙස රචනා කිරීම ඕනෑ ම ලේඛකයකුට අභියෝගයක් ලෙස මා දකිනවා.
ප්‍රශ්නය – ‘අතථි’ නවකතාව තුළින් සිදුවන සමාජ මෙහෙවර ලෙස ඔබ දකින්නේ කුමක් ද?
පිළිතුර – කලා කෘතියක් කියන්නේ මිනිස් සමාජයේ යහපැවැත්ම සඳහා වන ප්‍රගමනයේ අනිවාර්ය අංගයක්. සාහිත්‍ය කෘති ඇසුරු කරන තරමට මිනිසාගේ මනුෂ්‍යත්ව ගුණාංග ඉස්මතු වෙනවා. ඒ අතින් සාහිත්‍ය කෘති කියන්නේ වටිනා කලා අංගයක්. මම මගේ කෘතිය තුළ මිනිසුන් ජීවත්වීමේ දී මුහුණ දෙන ගැටලු හා ඒවාට මුහුණ දීමට අවැසි ධෛර්යය, මනුෂ්‍යත්වයේ දෑත දිගු කළ යුතු අවස්ථා, බැඳීම් අතර පවත්නා ගැඹුර, ජාතිවාදය ප්‍රහීන කිරීම, ගතානුගතික නොවී විශ්වීය වීම වැනි කාරණා ඇතුළත් කොට තිබෙනවා. මගේ කෘතිය ජනප්‍රිය නවකතාවක් වනවාට වඩා උසස් නවකතාවක් බවට පත්වෙනවා දකින්නයි මම කැමති. ‘අතථි’ කෙතරම් සාර්ථක නවකතාවක් ද යන්න බුද්ධිමත් පාඨකයන් සහ විචාරකයන් තීරණය කළයුතු කරුණක් යැයි මා සිතනවා.

සංවාදය – අනුර බී. සෙනෙවිරත්න