පූර්විකාව
1915 ජූලි 7 දින ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශයින්ම ශෝචනීය දිනයකි. මෙදින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ඊනියා කැලෑ යුද්ධාධිකරණයක් විසින් පනවන ලද මරණ දණ්ඩනයක් ප්‍රකාර එඩ්වඩ් හෙන්රි ප්‍රේදිස් තරුණ මහතා නීති විරෝධී ලෙස වෙඩි තබා ඝාතනය කරන ලදී. මෙම දිනයෙන් පසු දරුණු තත්ත්වයක් පිළිබඳ ප්‍රකාශ කිරීමේදී ජූලි 7යි කීමට සිංහලයා පුරුදු වී සිටියි. එඩ්වඩ් හෙන්රි ප්‍රේදිස් (1887 – 1915) වනාහි කොළඹ ඉතා ධනවත් සිංහල බෞද්ධ ප්‍රභූ පවුලක එකම පිරිමි දරුවා වූ අතර, අනගාරික ධර්මපාලතුමාගේ කිට්ටු ඥාතියෙකි.
1915ට හරියටම සිය වසකට පෙර එනම් 1815 මාර්තු 2 දින උඩරට ගිවිසුම මගින් 3 වන ජෝර්ජ් රජතුමා බුද්ධාගම ආරක්ෂා කරන බවට ගෞරව බහුමානිකව ප්‍රතිඥා දුන්නද 1915 ජුනි – අගෝස්තු කාලය තුළ මාර්ෂල් ලෝ හෙවත් යුධ නීතිය ක්‍රියාත්මක කර සිංහල බෞද්ධයාට කෲර ලෙස සැලකූ අතර, 1915 ජුනි මස පොසොන් උත්සවයට අනුරාධපුරයට යෑමට පවා වන්දනාකරුවන්ට තහනම් කරන ලදී.

එඩ්වඩ් හෙන්රි ප්‍රේදිස් වීරයාගේ ඝාතනයට පසුබිම සැකවින් මෙසේය. 1915 මැයි මස 28 වැනිදාට යෙදී තිබූ වෙසක් පොහොය දිනයේදී භක්ති ගීත කණ්ඩායම් රැගත් ගැල් මහනුවර නගරයේ සංචාරය කිරීමට බෞද්ධයන් පියවර ගත්තේය. මෙම භක්ති ගීත කණ්ඩායම් මහනුවර කාසල් වීදියේ පිහිටි මීරා මක්කම් මුස්ලිම් පල්ලිය පසුකර යෑම සම්බන්ධව මුස්ලිම්වරුන් විරුද්ධ වූ අතර, මුස්ලිම්වරුන්ගෙන් අල්ලස් ලබාගත් මහනුවර පොලිසිය මීරා මක්කම් පල්ලිය අසලදී මාර්ගය හරස් කොට භක්ති ගීත කණ්ඩායම් වෙනත් මාර්ගයක් වෙතට හැරවීය. මෙම අවස්ථාවේදී භක්ති ගීත කණ්ඩායම සමච්චලයට ලක්කරමින් මීරා මක්කම් පල්ලියේ සිටි මුස්ලිම් තරුණයන් පිරිසක් ෂාදු ෂාදු යැයි කෑ ගැසීය. මෙහිදී උරණ වූ බෞද්ධයන් මුස්ලිම්වරුන්ට පහරදුන් අතර, අදාළ කලහය මහනුවර පොලිසියේ පොලිස් පරීක්ෂක කුරේ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මැඩපවත්වන ලදී. රාත්‍රී 2.00 පමණ වනවිට තත්ත්වය සන්සුන් වූ අතර, සිංහල මුස්ලිම් දෙපාර්ශ්වයම විසිරී ගොස් තිබුණි. තත්ත්වය මෙසේ තිබියදී පසුදින ශ්‍රී ලංකා වාසීන්ගේ ප්‍රධානතම විනෝදාංශය වන කට කතා පැතිරීම ක්‍රියාත්මක වූ අතර, එදින මධ්‍යහ්නය වනවිට මහනුවර පුරා පැතිරී ගියේ මුස්ලිම්වරුන් විසින් දළදා මාලිගාව කුඩුකර ඇත යන්නයි. මෙම කට කතා නිසා ප්‍රචණ්ඩකාරී වූ බෞද්ධයන් මුස්ලිම් දේවස්ථානවලට පහර දුන් අතර, සිංහල සිල්ලර කඩකාරයෝ තමන්ගේ ව්‍යාපාරික තරගකාරීන් වූ මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පහර දීමට ජනයා පෙළඹ වූහ. මේ අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ප්‍රාදේශික දාමරිකයන් මුස්ලිම් කඩ සහ නිවාස කොල්ල කෑමට පටන් ගත්තේය. මහනුවර ඇතිවූ තත්ත්වය 1915 ජුනි මස 01 වන දින වනවිට කොළඹ දක්වා ව්‍යාප්ත වී තිබුණි. මෙම බැරෑරුම් අවස්ථාවේදී ලංකා පොලිසිය ඉතා කනගාටුදායක ලෙස මන්දගාමී ස්ථාවරයක් අනුගමනය කළේය. කොළඹ පිටකොටුවේ මුස්ලිම් වෙළෙඳ සලක් කොල්ල කන ස්ථානයට පොලිසිය ළඟා වූ විට කලහකාරීන් පොලිසියට ගරුසරු බවක් දක්වා කොල්ල කෑම නවත්වා බලා සිටියේය. මෙහිදී එක් පොලිස් කොන්තාපල්වරයෙකු කලහකාරීන්ට පැවසුවේ “යකෝ බඩු ගත්තා නම් අරන් ගෙදර පලයව්” යන්නයි. පොලිසියේ උදාසීන බවින් ප්‍රයෝජන ගත් ප්‍රාදේශීය මැරවරයින් වඩාත් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණේය. පොලිසියේ මෙම දුර්වල ප්‍රතික්‍රියාව 1983 ජූලි 23 දින ද, මෑතකදී මහනුවර දිගන සිදුවූ මුස්ලිම් විරෝධී කෝලාහල තුළ ද මනාව දක්නට ලැබිණි. සංවිධානය වී කෙරෙන ත්‍රස්තවාදී ප්‍රහාර මෙන් නොව ප්‍රාදේශීක වාර්ගික හා ආගමික කෝලාහල සුළු සිද්ධියක් නිසා ආරම්භ වන අතර, මුල් පැය 24 තුළදී පොලිසිය විසින් ප්‍රමාණවත් බලය යොදා තත්ත්වය පාලනය නොකළහොත් අහිංසක මිනිස් ජීවිත හා දේපළ විනාශවීම අනිවාර්ය වේ. ඉන්පසු තත්ත්වය පාලනය කිරීමට සන්නද්ධ හමුදා කැඳවූ විට ඔවුන්ට සිදු වුණේ මළමිනී ඉවත් කිරීම හා ගිනි නිවීමේ හමුදාවේ කාර්යභාරය ඉටුකිරීමයි. ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳ මෙම යථාර්ථය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය තේරුම් ගත යුතු අතර අනාගතයේදී මෙවැනි ඛේදවාචක ඇති නොවීමට දැන් සිටම සැලසුම් කිරීම හා ඉන්දියාවේ ඇති “මධ්‍යම පොලිස් අතිරේක බළකාය” (Central Reserve Police Force – CRPF) වැනි ඉඳුරාම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වන විශේෂ කැරලි මර්දන ඒකක සෑම පළාතකම ස්ථානගත කිරීම ඉතා යෝග්‍ය වේ.
උද්ගතවූ තත්ත්වය නිසි ලෙස වටහා නොගත් ලංකා ආණ්ඩුකාර ශ්‍රීමත් රොබර්ට් චාමර්ස් යුධ නීතිය (Martial Law) ප්‍රකාශ කර නීතිය හා සාමය ලංකාවේ භට පිරිස් ප්‍රධාන අණදෙන නිලධාරි (GOC Ceylon) බ්‍රිගේඩියර් ජෙනරල් ලේ මැල්කම් වෙත භාර දුන්නේය. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වූ ශ්‍රීමත් රොබර්ට් චාමර්ස් බුද්ධාගම හා පාලි භාෂාව පිළිබඳ නිපුනයෙකු වූ අතර, පර්යේෂණාත්මක ලිපි රාශියක් ද ලියා ඇත. එහෙත් ඔහු අතිශයින්ම දුර්වල පාලකයෙකි. උද්ගතවූ තත්ත්වය හුදෙක්ම පොලිසියේ නීතිය හා සාමය ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියක් වුවත්, ඔහු ක්ෂණිකයෙන්ම යුධ නීතිය ප්‍රකාශ කර යුධ හමුදා අණදෙන නිලධාරිවරුන්ට බලය ලබා දුන්නේය. මෙය කිසිසේත්ම නොකළ යුතුව තිබූ අමනෝඥ ක්‍රියාවකි. නීතිය හා සාමය බිඳ වැටී ඇති අවස්ථාවකදී එය හැකිතාක් දුරට පොලිස් බලය යොදා සිවිල් නිලධාරීන් විසින් නැවත ස්ථාපනය කළ යුතුය. පොලිසියට තත්ත්වය පාලනය කළ නොහැකි නම් පොලිසියේ සහයට යුධ හමුදාව කැඳවීමට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95 වගන්තිය යටතේ සිවිල් නිලධාරීන් වන දිසාපති, පොලිස් අධිකාරි සහ මහෙස්ත්‍රාත්වරුන්ට බලය ඇත. මෙහිදී යුද හමුදාව කැඳවුව ද තවමත් බලය පවතින්නේ සිවිල් අධිකාරිය තුළය. මාර්ෂල් ලෝ හෙවත් යුධ නීතිය පැනවීම (මෙලෙස යුධ නීතිය පැනවිය නොහැකිය යන්න බොහෝ නීති විශාරදයන්ගේ මතය වේ) රට තුළ තත්ත්වය දරුණු ලෙස පිරිහීමත් එනම් විදේශ ආක්‍රමණයන්, කැරලිකරුවන් විසින් ප්‍රදේශ අත්පත් කර ගැනීම් වැනි තත්ත්වවලදී පමණක් සිදුකරනු ලැබේ. 1915 ජුනි මස මෙවැනි තත්ත්වයක් නොතිබූ අතර, සිදුවූයේ ප්‍රාදේශීය දාමරිකයන්ගේ අසංවිධානාත්මක කලහ ව්‍යාපාරයකි. ආණ්ඩුකාරතුමාට අතිශයින්ම අවශ්‍ය වූයේ නම් සිවිල් නිලධාරීන්ගේ අණට යටත්ව යුධ හමුදාව කැඳවිය යුතුව තිබුණි. එහෙත් ආණ්ඩුකාර ශ්‍රීමත් රොබර්ට් චාමර්ස් ලංකාවේ යුධ හමුදා භට පිරිසේ අණ දෙන්නා වූ බ්‍රිගේඩියර් ජෙනරාල් (වර්තමානයේ බ්‍රිගේඩියර් නිලය) ලේ මැල්කම් භට බලය පවරා දුන්නේය.
බ්‍රිගේඩියර් ජෙනරාල් ලේ මැල්කම් වනාහි එවකට 60 විය ද ඉක්මවා සිටි පුද්ගලයෙකු වූ අතර, ඔහුගේ මානසික තත්ත්වය ද සැක සහිතය. 1914 – 1918 වකවානුවේ යුරෝපයේ 1 වන ලෝක යුද්ධය දරුණු ලෙස පැතිරෙමින් යන අවස්ථාවකදී අධිරාජ්‍යයේ ඈත පිහිටි යටත් විජිතවල භට පිරිස් අණදීමට මැල්කම් වැනි, හමුදා භාෂාවෙන් කියනවා නම් පාවිච්චියට නුසුදුසු (පා/නු) නිලධාරීන් පත්කරනු ලැබීය. එවකට ලංකාවේ ආරක්ෂාව සඳහා ඉන්දීය හමුදාවේ 17 වන පන්ජාබ් රෙජිමේන්තුව යොදවා තිබූ අතර, යුධ නීතිය අපහරණයට ගෙන පන්ජාබ් සෙබළුන් ඉවක් බවක් නැතිව නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කර, ස්ත්‍රී දූෂණ හා මංකොල්ලකෑමේ යෙදුණේය.
යුධ නීතිය හෙවත් මාර්ෂල් ලෝ අවස්ථාවකදී එක් අංගයක් වන්නේ සිවිල් වැසියන්ගේ නඩු විභාග කිරීමට යුද්ධාධිකරණවලට බලය ලැබීමයි. සාමාන්‍යයෙන් යුද්ධාධිකරණ බලය හමුදා නීතියට යටත් තැනැත්තන්ට (එනම් නිලධාරීන් හා සෙබළුන්) සීමාවන අතර, හමුදා කඳවුරේ සිවිල් බාබර්ට යුද නීතිය අදාළ නොවේ. නමුත් යුධ නීතිය බලාත්මක අවස්ථාවකදී සිවිල් වැසියන් හමුදා අධිකරණ ඉදිරියට පැමිණවීමට හැකිය. මෙම නීතිය පදනම් වී ඇත්තේ, යුද නීති තත්ත්වයකදී රටේ සිවිල් පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටී සංග්‍රාමික තත්ත්වයක් උදා වී ඇත යන උපකල්පනය මතය. එහෙත් මෙම යුද නීතියට අදාළ ප්‍රධාන ව්‍යාතිරේඛයක් ඇත. එනම් රට තුළ “මහ රජතුමාගේ සිවිල් උසාවි ක්‍රියාත්මක වන අවස්ථාවකදී යුද්ධාධිකරණවලට සිවිල් පුද්ගලයන් කැඳවීමේ බලය නොලැබෙන බවය.” තවදුරටත් විග්‍රහ කරන්නේ නම් මහ රජතුමාගේ සිවිල් උසාවි ක්‍රියාත්මක වන්නේ නම් හමුදා සිවිල් බාබර් හෝ හමුදා අරක්කැමියා හමුදා අධිකරණ ඉදිරියට කැඳවීමේ අවකාශය මතු නොවන බවයි. මක් නිසාද ඔවුන් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන සිවිල් අධිකරණයකට කැඳවිය හැකි බැවිනි.

ප්‍රේදිස් මහතාට එරෙහිව ක්‍රියාත්මක වූ ඊනියා යුද්ධාධිකරණය
1915 මැයි මස 28 දින මහනුවරදී ආරම්භවූ සිංහල – මුස්ලිම් කෝලාහලය ජුනි 01 වන දින වනවිට කොළඹ සහ කුරුණෑගල ආදී ප්‍රදේශවලට ව්‍යාප්ත වී තිබුණේය. මෙයට හේතු වූයේ අතිශයින්ම ප්‍රකෝපකාරී කටකතා පැතිර යාමත්, පැන නැගී ඇති තත්ත්වය හමුවේ ප්‍රාදේශීය සිංහල සිල්ලර වෙළෙඳුන් මුස්ලිම් ව්‍යාපාර ස්ථානවලට පහරදීමට ජනයා පෙළඹවීමත්, අවස්ථාවෙන් ප්‍රයෝජනගත් ප්‍රාදේශීය පාදඩයන් හා රස්තියාදුකාරයන් මුස්ලිම් ව්‍යාපාර ස්ථාන කොල්ලකෑමත් යන සිද්ධීන් හමුවේ පවතින තත්ත්වය පාලනය කිරීමට ලංකා පොලිසිය කිසිදු උත්සාහයක් නොගැනීම නිසාත් වේ. 1915 වනවිට 19 වන ශත වර්ෂයේ අවසානයේ සිදුවූ හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමාගේ ආගමනය, ආනන්ද, ධර්මරාජ, මහින්ද බෞද්ධ විදුහල් පිහිටුවීම හා අනගාරික ධර්මපාල තුමන් සිංහලයන් අවදි කිරීමේ පුනරෝදය ආදී කරුණු මත සිංහල – බෞද්ධ ප්‍රජාව වෙළෙඳාම හා අධ්‍යාපනය අතින් උසස් මට්ටමකට පැමිණියේය. බෞද්ධ පාසල්වල ශිෂ්‍යයන් (උදා: ආනන්ද විiාලයේ ඩී.ජේ. විමලසුරේන්ද්‍ර ඉංජිනේරුතුමා) ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය හදාරමින් සමාජයේ උසස් ස්ථාන වලට පැමිණෙමින් තිබුණේය. මෙම බෞද්ධ ප්‍රබෝධය වර්තමානයේදී ආදී ආනන්දයකු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා දක්වා වර්ධනය වී ඇත. මෙම බෞද්ධ පුනරෝදය හිසරදයක් වූ එංගලන්ත සභා ක්‍රිස්තියානි/ කතෝලික බලවේග, 1915 ජුනි මස රටේ පැවති අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සිංහල බෞද්ධ නායකයන්ට එරෙහිව අහේතුක චෝදනා නඟා බ්‍රිතාන්‍ය පාලකයන්ට ඉදිරිපත් කළහ. එවැනි අහේතුක චෝදනා යටතේ ඩී. එස්. සේනානායක, එෆ්. ආර්. සේනානායක, ඩබ්. ඒ. ද සිල්වා, නීතිඥ ජෝන් ද සිල්වා (නාට්‍යකරු) හේවාවිතාරණ සහෝදරයන් වැනි සිංහල බෞද්ධ ප්‍රභූන් අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරයේ රඳවන ලදී.
මෙම තත්ත්වය යටතේ ජනයාගෙන් ජනාකීර්ණ වූ පිටකොටුවේ කෙයිසර් වීදියේ පිහිටි ප්‍රේදිස් මහතාගේ ව්‍යාපාර ස්ථානයට පහර දීමට මුස්ලිම්වරුන් කණ්ඩායමක් පැමිණි අතර, ඔවුන් පලවාහැරීමට ප්‍රේදිස් මහතා විසින් තම බලපත්‍ර සහිත රිවෝල්වරයෙන් අහසට වෙඩි 2ක් තැබීය. ප්‍රේදිස් මහතාට එරෙහිව චෝදනා 5ක් එල්ලවූ අතර, ඉන් පළමු වැනි චෝදනාව “අප මහරජතුමාට එරෙහිව යුද්ධ කිරීමයි.” මෙයට සාක්ෂි වන්නේ 1915 ජුනි 01 දින කොළඹ පිටකොටුවේ කෙයිසර් වීදියේදී රිවෝල්වර උණ්ඩ 2ක් අහසට පත්තු කිරීමයි. මෙම චෝදනාව කෙතරම් හාස්‍යජනකද යන්න අධි චෝදනාවෙන්ම පැහැදිලි වේ. අනිකුත් චෝදනා වන්නේ නීති විරෝධී ලෙස රංචු ගැසීම, මංකොල්ලකෑම ආදිය වේ. ප්‍රේදිස් මහතාට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා 5 අඩංගු අධි චෝදනා පත්‍රය මුළුමනින්ම අර්ථ ශුන්‍ය හා බල රහිත වේ. මක් නිසාද යත් ප්‍රේදිස් මහතා වරද සිදුකර ඇත්තේ 1915 ජුනි මස 01දීය. ආණ්ඩුකාරවරයා යුද නීතිය ප්‍රකාශ කරන ලද්දේ 1915 ජුනි මස 02 දින දීය. ජාත්‍යන්තර නීතියේ සහ ඉංග්‍රීසි නීතියේ පවතින ප්‍රධාන මූලධර්මයක් වන්නේ යම්කිසි නීතියක් හෝ පනතක් විශේෂිතවම හා ප්‍රකාශිතවම දක්වා ඇති අවස්ථාවකදී හැරුණු විට අතීතයට බලනොපාන බවය. යුද නීතිය වැනි ආණ්ඩුකාරවරයා විසින් නිකුත්කරන පාර්ලිමේන්තු පනත් නොවන ද්විතීයික නියෝග (රෙගුලාසි, නියෝග) කවර ආකාරයකින්වත් අතීතයට බල නොපාන බැව් ද මූලික නීති මූලධර්මයකි. මෙම නීතිමය තත්ත්වය මත 1915 ජුනි මස 01 දින කරන ලද වරදකට 1915 ජුනි මස 02 දින පනවන ලද යුද නීතිය ප්‍රකාර යුද්ධාධිකරණයකට කැඳවීම හෝ දඩුවම් පැමිණවීම කළ නොහැක. තවද, 1915 ජුනි/ ජුලි වකවානුවල ලංකාද්වීපය තුළදී මහරජතුමාගේ අධිකරණ ක්‍රියාත්මක වූ අතර, එම තත්ත්වය මතද සිවිල් වැසියන්ගේ නඩු විභාග කිරීමට යුද්ධාධිකරණ පැනවීමේ අවශ්‍යතාවයක් පැන නොනගී. මක්නිසාද යත් යුද තත්ත්වයක් තුළදී වුවත් සිවිල් පරිපාලනය බිඳ නොවැටී ඇති බැවිනි. 1939 – 1945 අතර දෙවන ලෝක යුද්ධ කාලය තුළදී ශ්‍රී ලංකාව දෙවරක්ම ජපන් ප්‍රහාරවලට ලක්වුව ද, යුදමය අතින් අතිශයින්ම වැදගත් වූ ලංකාවේ අද්මිරාල් ලුයි බවුන්ට් බැටන් සාමිවරයාගේ මූලස්ථානය පිහිටුවා තිබුණ ද, 2 වන ලෝක යුද සමයේ ලංකාවේ යුද නීතිය ක්‍රියාත්මක නොවීය. 1939 – 1945 කාලය පුරාම සිවිල් අධිකරණ හා සිවිල් පරිපාලනය අඛණ්ඩව පැවති අතර, සිවිල් වැසියන් සිවිල් අධිකරණ ඉදිරියට කැඳවිණි. මෙම සියලුම කරුණු මත ප්‍රේදිස් මහතාට එරෙහිව කැඳවූ ඊනියා යුද්ධාධිකරණය අර්ථ ශුන්‍ය හා බලරහිත අධිකරණයක් වන අතර, එවන් අධිකරණයක තීන්දුවක් මුල් අවස්ථාවේම අර්ථ ශුන්‍ය හා බල රහිත වේ.
ab initio null and void.
1915 ජූලි මස ප්‍රේදිස් මහතා ඊනියා “ක්ෂේත්‍ර මහා යුද්ධාධිකරණයක්” (Field General Court Martial -FGCM) වෙත ඉදිරිපත් කෙරිණි. මෙම යුද්ධාධිකරණයේ විනිසුරුවරුන් 3 දෙනා එවකට ලංකාවේ ස්ථානගතවී තිබූ 17 වන පන්ජාබ් රෙජිමේන්තුවේ සිටි බ්‍රිතාන්‍ය නිලධාරීන් වූ අතර, එය එවකට ලංකාද්වීපයේ භට පිරිස් අණදෙන නිලධාරීන්ගේ මූලස්ථානය පිහිටි කොළඹ 2 කොම්පඤ්ඤවීදියේ මැලේ වීදියේදී (වර්තමානයේදී ආරක්ෂක හමුදා පාසල) හි පවත්වන ලදී. යුද හමුදාවේ යුද්ධාධිකරණ වර්ග 3ක් ඇත. මහා යුද්ධාධිකරණය, ක්ෂේත්‍ර මහා යුද්ධාධිකරණය සහ දිස්ත්‍රික් යුද්ධාධිකරණය වේ. ක්ෂේත්‍ර මහා යුද්ධාධිකරණය වනාහි යුදමය තත්ත්වයක් මතදී පමණක් පැවැත්විය හැකි යුද්ධාධිකරණ විශේෂයක් වේ. මහා යුද්ධාධිකරණයක් ඕනෑම අවස්ථාවකදී පැවැත්විය හැකි අතර, එහිදී නීතිය පිළිබඳව යුද්ධාධිකරණ මණ්ඩලයට උපදෙස් දීමට වෘත්තියෙන් නීතිඥයෙකු වූ අයෙකු “විනිශ්චයකාර අධිනීතිඥ ජෙනරාල්” (Judge Advocate General – JAG) අනිවාර්යයෙන්ම සිටිය යුතු වේ. මහා යුද්ධාධිකරණයකට මරණ දඬුවම හා සිර දඬුවම ද පැනවිය හැක. සංග්‍රාමික තත්ත්වයකදී පමණක් ක්‍රියාත්මක කළ හැකි “ක්ෂේත්‍ර මහා යුද්ධාධිකරණ” වලට ද මරණීය දණ්ඩනය සහ සිර දඬුවම් පැනවීමේ පූර්ණ බලය ඇත. එහෙත් පවතින තත්ත්වය මත “විනිශ්චයකාර අධිනීතිඥ ජෙනරාල්” වරයෙකු සිටීම අනිවාර්ය නොවේ. දිස්ත්‍රික් යුද්ධාධිකරණවලදී නිලධාරීන් නොවන සෙසු නිලයන් පමණක් විනිශ්චය කළ හැකි අතර, මරණීය දණ්ඩනය පැනවිය නොහැක. මෙම යුද්ධාධිකරණවල ද “විනිශ්චයකාර අධිනීතිඥ ජෙනරාල්” වරයා අනිවාර්ය නොවේ. 1848 කැරැල්ලේදී පුරන්අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා, පූජ්‍ය කුඩහපොල හිමි ආදීන් ඝාතනය කරන ලද්දේ මෙවැනි ක්ෂේත්‍ර මහා යුද්ධාධිකරණ මඟිනි. ප්‍රේදිස් මහතාගේ යුද්ධාධිකරණය හුදෙක්ම නීතිය පිළිබඳ කිසිදු දැනීමක් නොමැති නීතිඥවරුන් නොවන බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන් 3 දෙනෙකුගෙන් සමන්විත වූ අතර, “විනිශ්චයකාර අධිනීතිඥ ජෙනරාල්” වරයෙකු නොසිටියේය. මෙම ඊනියා කැන්ගරු යුද්ධාධිකරණය මඟින් ප්‍රේදිස් මහතාට මරණ දණ්ඩනය නියම කරන ලදී. අධිනීතිඥ එල්. එච්. ද අල්විස් මහතා ප්‍රේදිස් මහතා වෙනුවෙන් පෙනී සිටියේය.
ප්‍රේදිස් මහතාගේ ඝාතනය
ප්‍රේදිස් මහතාට නඩු පවරනු ලැබුවේ බ්‍රිතාන්‍ය යුද හමුදා පනත (1881) යටතේය. මෙකී පනත අනුව යටත් විජිතයකදී පවත්වනු ලැබූ යුද අධිකරණයක් මඟින් මරණ දඬුවම පැනවූ විට එම තීන්දුව අදාළ යටත් විජිතයේ පාලක ආණ්ඩුකාරවරයා විසින් අනිවාර්යයෙන්ම අනුමත කළ යුත වේ. එමෙන්ම ප්‍රේදිස් මහතා කොළඹ නගරාක්ෂක හමුදාවේ සාමාජිකයෙකි. නගරාක්ෂක හමුදාව වනාහි 1910 අංක 8 දරන ලංකාරක්ෂක ආඥා පනත යටතේ පිහිටුවනු ලැබූ යුද ඒකකයකි. එකී ලංකාරක්ෂක ආඥා පනතේ (19 (1) (ආ) වගන්තිය යටතේ ලංකාරක්ෂක හමුදාවේ සාමාජිකයෙකුට මරණීය දඬුවම නියම කළ අවස්ථාවකදී එම දඬුවම ලංකාවේ ආණ්ඩුකාරතුමා විසින් අනුමත කළ යුතු වේ. ඉහත කී මෙම නීතිමය තත්ත්ව දෙක මත ප්‍රේදිස් මහතාට පැනවූ මරණීය දඬුවම ලංකා ආණ්ඩුකාර ශ්‍රීමත් රෙබර්ට් චාර්මස් විසින් අනුමත කිරීම අනිවාර්ය වූ නමුත්, ලංකාවේ භට පිරිසේ අණදෙන්නා වන බ්‍රිගේඩියර් ජෙනරාල් ලේ මැල්කම් විසින් අදාළ තීන්දුව ආණ්ඩුකාරතුමා වෙත ඉදිරිපත් නොකර ඔහු විසින්ම අනුමත කර මරණීය දඬුවම ස්ථිර කළේය. ප්‍රේදිස් මහතාගේ මරණින් පසුව ආණ්ඩුකාර චාර්මස් විසින් බ්‍රිගේඩියර් ජෙනරල් ලේ මැල්කම්ට මේ පිළිබඳව තම විරෝධය ප්‍රකාශ කර සිටීමෙන් අනතුරුව ඉන්පසු පැවැත්වූ යුද්ධාධිකරණ වලින් පනවන ලද මරණීය දණ්ඩන තීන්දු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලදී. මේ අනුව ප්‍රේදිස් මහතාගේ මස්සිනාවරුන් වූ විජේසේකර සහෝදරයන් දෙදෙනාගේ මරණ දඬුවම් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් බවට පරිවර්තනය කළ අතර, 1915 ජුනි – අගෝස්තු කාලවලදී යුද්ධාධිකරණ විසින් පනවන ලද සියලුම සිර දණ්ඩන චාමර්ස් ආණ්ඩුකාරවරයාගෙන් ලංකා ආණ්ඩුකාර ධුරයට පත්වූ ශ්‍රීමත් ජෝන් ඇන්ඩර්සන් විසින් ඉවත්කර ආණ්ඩුකාර සමාව ප්‍රදානය කරන ලදී. එම නිසා ප්‍රේදිස් මහතාට වෙඩි තැබූ හමුදා වෙඩි මුර කණ්ඩායමට ක්‍රියාත්මක කිරීමට නිත්‍යානුකූල මරණීය දණ්ඩනයක් නොතිබූ බැවින් ඔහුගේ මරණය බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන් සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් හෙවත් මිනීමැරීමක් වේ.
1915 දී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ අකර්මණ්‍ය බව
ප්‍රේදිස් මහතාට ක්ෂේත්‍ර මහා යුද්ධාධිකරණයෙන් මරණීය දඬුවම ලැබීමත් සමගම එතුමාගේ ඥාතීන් වහාම ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ යකෝත්ථ යුද්ධාධිකරණයට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලා පෙත්සමක් ගොනු කරන ලදී. එහෙත් ඉතාම අකර්මණ්‍ය තත්ත්වයක පැවති ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය
(අග්‍ර විනිසුරු ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් වුඩ් රෙන්ටන්, විනිසුරු ෂෝ සහ විනිසුරු ද සම්පායෝ) විසින් රිට් ආඥාවන් ප්‍රතික්ෂේප කරන ලදී. මෙම නඩුවේ තීන්දුව නව නීති වාර්තාවේ ඇතුළත් කර නොමැත.
එහෙත් උක්ත නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්ථාවරය 1915 කෝලාහල සමයේදී “ක්ෂේත්‍ර මහා යුද්ධාධිකරණ” වලට එරෙහිව පවරනු ලැබූ නව නීති වාර්තාවන්හි වාර්තා වූ ප්‍රසිද්ධ නඩු කෘතීන් දෙකක් වන Re W.A. de Silva (1915) 18 NLR 277 නඩුවෙන් සහ Re Edmond Hewawitharana (1915) 18 NLR 334 නඩු තීන්දුවලින් පැහැදිලි ිවේ. එවක සිටි ප්‍රසිද්ධ දේශපාලනඥයෙකු හා ජනනායකයකු වූ ඩබ්ලිව්.ඒ. ද සිල්වා මහතා යුද්ධ නීති නියෝගයක් අනුව සිරභාරයේ රඳවා ගැනීමට එරෙහිව ඔහුගේ ඥාතීන් විසින් “හෙබයාර්ස් කෝර්ප්‍රස්” පෙත්සමක් ගොනු කරන ලදී. මෙම පෙත්සමේ පෙත්සම්කරු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන ලද්දේ හිටපු ජනාධිපති අතිගරු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ බාප්පා වූ කීර්තිමත් අධිනීතිඥ එඩ්රියන් සෙන්ට් වැලන්ටයින් ජයවර්ධන මැතිතුමා විසිනි. ශ්‍රේෂ්ඨාධිකරණය යුද හමුදාවට නොතිසි නිකුත්කරන ලද නමුත් හබයාස් කෝර්ප්‍රස් ආඥාවක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන ලදී. පෙත්සම ප්‍රතික්ෂේප කරමින් අගවිනිසුරු ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් වුඩ් රෙන්ටන් 1915.06.29 දින ප්‍රකාශ කළේ යුද නීතිය ප්‍රකාශ කර ඇති අවස්ථාවකදී සිවිල් අධිකරණ බලය සීමා සහිත වේ. මෙහිදී සිවිල් අධිකරණයට රට තුළ යුදමය තත්ත්වයක් ඇත්දැයි විමසීමට බලය ඇත. එහෙත් රට තුළ යුදමය තත්ත්වයක් ඇතැයි තීරණය වුවහොත් එම යුදමය අවස්ථාවකදී හමුදා නිලධාරීන්ගේ ක්‍රියාවලියන් විනිශ්චය කිරීමට සිවිල් අධිකරණයට බලයක් නැත. එම නිසා ද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම සහ රඳවා තැබීම නීති විරෝධී දැයි පරීක්ෂා කිරීමට සිවිල් අධිකරණයට බලයක් නැත. එම නිසා ද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම සහ රඳවා තැබීම නීති විරෝධි දැයි පරීක්ෂා කිරීමට සිවිල් ුඅධිකරණයට බලයක් නැත. ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් වුඩ් රෙන්ටන් අගවිනිසුරුතුමාට බරපතළ වැරදීමක් සිදුවී තිබේ. එනම් ඉංග්‍රීසි නීතිය අනුව යුදමය තත්ත්වයකදී මහ රජතුමාගේ සිවිල් අධිකරණ ක්‍රියාත්මක වේ නම් සිවිල් වැසියන්ගේ නඩු විභාග කිරීමට යුද්ධාධිකරණවලට බලයක් නොමැත. ඩබ්ලිව්.ඒ. ද සිල්වා මහතාගේ නඩු තීන්දුව දුන් 1915.06.29 දින ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියාත්මකව පැවතිණි. එම නිසා යුද්ධාධිකරණ නීති විරෝධී ලෙස කටයුතු කරන්නේ නම් එය දෙස අකර්මණ්‍යව බලා සිටීමට ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට නුපුළුවනි. එම නිසා ද සිල්වා මහතාගේ හෙබයාස් කෝර්ප්‍රස් නඩුව විභාග කිරීමට ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට පූර්ණ බලය හිමිවුණි.
1915 කැරලි සමයේ වූ තවත් ප්‍රසිද්ධ නඩුවක් වූයේ Re Edmond Hewawitharana (1915) 18 NLR 334 වේ. එඩ්මන්ඩ් හේවාවිතාරණ මහතා අනගාරික ධර්මපාලතුමාගේ (දොන් ඩේවිඩ් හේවාවිතාරණ) ගේ කිට්ටු ඥාතියෙකු වූ අතර, ප්‍රේදිස් මහතාගේ මාමා විය. හේවාවිතාරණ මහතා වෙනුවෙන් පෙනී සිටියේ මදුරාසි මහාධිකරණයේ බැරිස්ටර් අර්ඩ්ලි නෝටන් මහතාය. (1962 වසර තෙක් ලන්ඩන් බැරිස්ටර්වරුන්ට ලංකාවේ නීති විභාගය සමත් නොවී ඉඳුරාම ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥයකු ලෙස දිවුරුම් දීමට හැකියාව තිබුණි. අවසාන වරට මෙලෙස ලංකා නඩු විභාගයකට පෙනී සිටියේ අගමැති බණ්ඩාරනායක ඝාතන නඩුවේ 1 වන විත්තිකරු වූ මාපිටිගම බුද්ධරක්ඛිත හිමි වෙනුවෙන් ලන්ඩන් බැරිස්ටර්වරයෙකු වූ රාජනීතිඥ ෆිනියාස් ක්‍යුඇස් වේ) හේවාවිතාරණ නඩුවේදී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ යුද්ධාධිකරණවලට එරෙහිව රිට් ආඥා නිකුත් කිරීමට ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට නොහැකි බවයි.

ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉහත නඩු තීන්දු දෙකම දෝෂ සහගත වේ. මක්නිසාද යත් මෙම නඩු තීන්දු දෙකම පිළිගත් හා ඉතා ප්‍රසිද්ධ ඉංග්‍රීසි නීතිමය මූලධර්ම සහ නඩු තීන්දුවලට පටහැනි වීමය. බලන්න. Rv Cowle (1759) 2 Burr 835, the case of Theobald Wolfe Tone (1798) 27 How St Tr 613 On re Andeson 7 Jur NS 122 මින් පෙර දී (1873) ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන ලද DC Negombo 221 Grenier (1873) DC 122 නඩුවේදී ලංකාවේ අගවිනිසුරු ශ්‍රීමත් එඩ්වඩ් ක්‍රිසි ප්‍රකාශ කළේ රිට් ආඥා නිකුත් කිරීමේදී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට එංගලන්තයේ රැජිණගේ ආසන අධිකරණය හෙවත් Queen’s Bench උසාවියට සමාන නීතිමය බලයක් ඇති බවයි. Queen’s Bench උසාවියට එංගලන්තයේදී පමණක් නොව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඕනෑම ස්ථානයකදී පවත්වන යුද්ධාධිකරණවලට රිට් ආඥාවක් නිකුත්කිරීමේ බලය ඇත. මේ අනුව ජිබෝල්ට්‍රා, කැනඩාව, කැනරි දූපත් ආදී ස්ථානවල පවත්වන ලද යුද්ධාධිකරණවලට ලන්ඩන් නුවර Queen’s Bench උසාවිය විසින් රිට් ආඥා නිකුත් කර ඇත. මෙම තත්ත්වය යටතේ ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට යුද්ධාධිකරණයකට රීට් ආඥාවක් නිකුත්කිරීමට යම් චකිතයක් වූයේ නම් සිදුකළ යුතුව තිබුණත් ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් අදාළ නඩුව එවකට ලංකාවේ උපරිමාධිකරණය වූ එක්සත් රාජධානියේ රාජාධිකරණය වූ (Privy Council) වෙත යොමු කිරීමයි. එසේ නොමැතිව රිට් ආඥාවක් ඉඳුරාම ප්‍රතික්ෂේප කිරීමට ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට නෛතික බලයක් නොමැත.
ප්‍රේදිස් මහතා හා ඔහු සමඟ යුද්ධාධිකරණවලට යොමු කරන ලද ඔහුගේ ඥාතීන් වන එඩ්මන්ඩ් හේවාවිතාරණ, එන්.ඒ. විජේසේකර හා එන්. ඊ. විජේසේකර මහතුන් සම්බන්ධ යුද්ධාධිකරණවලට හා ශ්‍රේෂ්ඨාධිකරණයේ රිට් ආඥා පෙත්සම්වලට අදාළව ලංකාවේ එවකට සිටි කීර්තිමත් නීතිවේදීන් පෙනී සිටියහ. එනම් කොළඹ අදත් ක්‍රියාත්මක වන D හා F සේරම් නීතිඥ සමාගමේ උපදෙස් මත ඒඩි්‍රයන් සෙන්ට් වැලන්ටයින් ජයවර්ධන (අතිගරු J.R ජයවර්ධන ජනාධිපතිතුමාගේ බාප්පා), මදුරාසි මහාධිකරණයේ බැරිස්ටර් ධූරන්දර ඉංග්‍රීසි ජාතික එඩ්ර්ලි නෝටන් සහ අධිනීතිඥ L.H. ද අල්විස් යන මහත්වරුන්ය. කොළඹ 2 මැලේ වීදියේ පවත්වන ලද යුද්ධාධිකරණයේදී ප්‍රේදිස් මහතා වෙනුවෙන් අධිනීතිඥ L.H. ද අල්විස් මහතා පෙනී සිටියේය. 1915දී පැවති මෙම නඩු කෘති සඳහා නීතිඥ ගාස්තු ලෙස රු. 11113.54ක මුදලක් අයකර ඇත. 1915 රුපියලේ අගය අනුව මෙය ඉතා විශාල මුදලකි. බලන්න: A.C. Dep Ceylon Police and Sinhala – Muslim Riots of 1915 Sri Lanka: Sarvodaya Visva Lekha Publication P 129 එහෙත් මෙම උත්සාහයත් නිරර්ථක වූ අතර, 1915 ජූලි 07 දින ප්‍රේදිස් මහතා වැලිකඩ බන්ධනාගාරයේදී පන්ජාබ් සෙබළුන් කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. ඔහු ඉතාම නිර්භය ලෙස වෙඩි ප්‍රහාරයට මුහුණ දුන්නේය.
- ප්‍රේදිස් එදිරිව මැනුපැක්චර්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පනි ලිමිටඩ් නඩුව: Pedris v The Manufactures Life Insurance Co Ltd (1915) 19NLR 321
ප්‍රේදිස් මහතා ඝාතනය කරන විට ප්‍රසිද්ධ රක්ෂණ සමාගමක් වූ මැනුපැක්චර්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් නමැති ආයතනයේ රු: 25000/ක් වටිනා ජීවිත ඔප්පුවක් ලබාගෙන තිබුණේය. නැසීගිය ප්‍රේදිස් මහතාගේ බූදලය වෙනුවෙන් බූදල් නඩුවක් කොළඹ දිසා අධිකරණයේ ගොනු කරන ලද අතර, බූදලය පිළිබඳ අද්මිනිස්ත්‍රාත්කරු විසින් ඉහත කී රක්ෂණ ඔප්පුව ද බූදලයේ කොටසක් ලෙස අයැද සිටියේය. (කොළඹ දිස්ත්‍රික් අධිකරණ නඩු අංක 44358) අදාළ රක්ෂණ සමාගම මෙයට විරෝධය පාමින් කියාසිටියේ ප්‍රේදිස් මහතා අධිකරණ නියෝගයකින් මරණ දණ්ඩනයට පත්කළ පුද්ගලයෙකු බැවින්, රක්ෂණ නීතිය යටතේ එම රක්ෂණ ඔප්පුව අවලංගු වන බවයි. කොළඹ දිසා විනිසුරු වැඩ්ස්වර්ත් රක්ෂණ සමාගමේ මූලික විරෝධය පිළිගන්නා ලදී. මින් අගතියට පත් ප්‍රේදිස් බූදලයේ අද්මිනිස්ත්‍රාත්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන ලදී. මෙම අභියාචනය අගවිනිසුරු ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් වුඩ් රෙන්ටන් හා විනිසුරු ෂෝ ඉදිරියේ කැඳවිණි. (1915 කැරලි සමයේ යුද්ධාධිකරණවලට රිට්ආඥා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ විනිසුරු මඬුල්ලේ මෙම දෙදෙනා සාමාජිකයන් විය) ප්‍රේදිස් මහතාගේ බූදලය වෙනුවෙන් රාජනීතිඥ බාවා, අධිනීතිඥ E.W. ජයවර්ධන (අතිගරු ජනාධිපති J.R. ජයවර්ධන මැතිතුමාගේ පියා) සහ අධිනීතිඥ L.H. ද අල්විස් (යුද්ධාධිකරණයේදී ප්‍රේදිස් මහතාගේ අධිනීතිඥතුමා) පෙනී සිටියේය. රක්ෂණ සමාගම වෙනුවෙන් රාජනීතිඥ ඇලන් ඩී්‍රබර්ග් සහ අධිනීතිඥ සමරවික්‍රම පෙනී සිටියේය. මෙහිදී අගවිනිසුරු වුඩ් රෙන්ටන් පෙන්වා දුන්නේ අපරාධ අධිකරණයක (මහෙස්ත්‍රාත් අධිකරණ/ මහාධිකරණ) යම් කාරණයක් සම්බන්ධව කුමන තීන්දුවක් දුන්නත් එම තීන්දුව නොසලකා එම කාරණය සම්බන්ධයෙන් නැවත විමසීමක් කොට ස්වාධීණ තීරණයකට පැමිණීමට සිවිල් අධිකරණයකට (දිස්ත්‍රික් අධිකරණයට) නෛතික බලය ඇති බවයි. උදාහරණයක් ලෙස A විසින් B මරා ඇතැයි අපරාධ අධිකරණයක් තීන්දු කරයි. එම තීන්දුව තිබියදීම සිවිල් (දිස්ත්‍රික්) අධිකරණයට A විසින් B මරා ඇත්ද යන්න ස්වාධීනව නිගමනය කළ හැක. මෙය බැලූ බැල්මට ප්‍රශ්න සහගත ක්‍රියාවලියකි. එකම වරද සඳහා දෙවරක් නඩු විභාග කළ නොහැක යන්න යමෙකුට තර්ක කළ හැකිය. එහෙත් අපරාධ අධිකරණයකදී සිදුවන්නේ A ගේ සාපරාධි වගකීම ගැන විමර්ශනය කිරීමයි. සිවිල් (දිස්ත්‍රික් අධිකරණයකදී) සිදුවන්නේ A ගේ දිලික්ත හෙවත් සිවිල් වගකීම ගැන විමර්ශනය කිරීමයි. මෙම කරුණු දෙක හාත්පසින්ම වෙනස් නිසා ගැටලුවක් මතු නොවේ. ප්‍රේදිස් බූදලය සබැඳි නඩුවේදී ඉංග්‍රීසි නඩු තීන්දු ගණනාවක් උපුටා දක්වමින් අගවිනිසුරු වුඩ් රෙන්ටන් ප්‍රකාශ කළේ (පිටුව 377) – “දිසා විනිසුරුතුමාගේ තීන්දුව ඉවතලා නඩුව නැවත විභාගයට යොමු කරමි. නඩුවේ පැමිණිලිකරුට අවශ්‍යවන්නේ නම් හා ඔහුට හැකියාවක් තිබේ නම් යුද්ධාධිකරණය මඟින් ප්‍රේදිස් රාජද්‍රෝහි වීමේ වරදට වරදකරු කරනු ලැබූව ද, ඔහුගේ නිර්දෝශීභාවය දිසා අධිකරණයේදී සාක්ෂි වලින් සනාථ කළ හැකිය.” දිස්ත්‍රික් උසාවියට ප්‍රේදිස් නඩුව නැවතත් යොමු කළ පසු එන පොට හරියන්නේ නැති බව, එනම් ප්‍රේදිස් මහතාගේ නිර්දෝෂීභාවය පිළිබඳව ප්‍රබල සාක්ෂි දිස්ත්‍රික් අධිකරණයේ ඉදිරිපත් වීම අනිවාර්ය බැව්, හැඟුණු බ්‍රිතාන්‍ය පාලකයන් නඩුව සමථයකට පත් කරගන්නා මෙන් අදාළ රක්ෂණ සමාගමට රහසින් බලකර සිටියේය. එම නිසා රක්ෂණ සමාගම වහාම ජීවිත රක්ෂණ ඔප්පුවේ මුළු වටිනාකම ගෙවා නඩුව සමථයකට පත් කෙරිණි. ප්‍රේදිස් මහතාගේ වියෝවෙන් කනගාටුවට පත් ඒ මහතාගේ මව සුළු කලෙකින් මියගිය අතර, ඔහුගේ පියා තම සම්පූර්ණ බූදලය යොදවමින් පුණ්‍ය කටයුතු කළේය. පොළොන්නරුවේ පිහිටි බෞද්ධ වන්දනාකරුවන් සඳහා පිහිටා ඇති එඩ්වඩ් හෙන්රි ප්‍රේදිස් විශ්‍රාම ශාලාව මින් සමහරකි.
1915 ජුනි – අගෝස්තු මාසවලදී ලංකාවේ යුද නීතිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් දේශප්‍රේමී ඊ.ඩබ්ලිව්. පෙරෙයිරා අධිනීතිඥතුමන් විසින් බ්‍රිතාන්‍ය රජයට භාරදෙන ලදුව ලංකාවේ තත්ත්වය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුකාර ශ්‍රීමත් රොබර්ට් චාමර්ස් සහ බ්‍රිගේඩියර් ජෙනරාල් ලේ මැල්කම් ආපසු කැඳවන ලදී. 1 වන සහ 2 ලෝක සංග්‍රාමවලදී නිලධාරීන් සාමාන්‍යයෙන් විශ්‍රාම නොගන්වන ලද නමුත් බ්‍රිගේඩියර් ජෙනරාල් ලේ මැල්කම් 1 වන ලෝක යුද්ධය පැවතියද 1916 වසරේදී අනිවාර්ය විශ්‍රාම ගන්වන ලදී. ආණ්ඩුකාර චාමර්ස්ගෙන් පසු ලංකා ආණ්ඩුකාර ධුරයට පත්වූ ශ්‍රීමත් ජෝන් ඇන්ඩර්සන් මැතිතුමා සිංහල – බෞද්ධ ජනයාට විශාල සහන රාශියක් ගෙන දුන්නේය. 1915 යුද්ධාධිකරණවලින් සිරදඬුවම් ලද සියලුම දෙනා නිදහස් කිරීම ඉන් මූලික වේ. 1915 සිංහල – බෞද්ධ ප්‍රභූ පැලැන්තිය යටත් කිරීමට බ්‍රිතාන්‍යයන් උත්සාහ කළ ද ඉන් සිදු වූයේ එහි වර්ධනය පමණකි.”

මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජිත් රාජපතිරණ
RSP VSV USP psc LLB (OU) LLM (KDU), ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ, හිටපු විනිසුරු අධිනීතිඥ ජෙනරාල් – ශ්‍රී ලංකා යුද්ධ හමුදාව