බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම ඊයේ (24දා) පැවැති අතර එහිදී නව සභාපති තේරීමේදී ඇති වූ ගැටලුකාරී තත්ත්වය මත එහි කටයුතු නැවත දැනුම්දෙන තුරු කල් තබනු ලැබීය.
පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරු 9.30ට මංගල රැස්වීම ආරම්භයේදී නව සභාපති පත්කර ගැනීමේ කටයුතු ආරම්භ විය.

එහිදී නව සභාපති පත්කරගැනීම රහස් ඡන්දයකින් කළයුතු බවට කොමසාරිස්වරිය සහ ජාතික ජනබලවේගය මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ. එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය එල්ල වී ඇති අතර ඔවුහු ප්‍රකාශ කර ඇත්තේ ඒ සඳහා විවෘත ඡන්දයක් පැවැත්විය යුතු බවය.
එහිදී මතු වූ තර්ක විතර්ක මැද අවසානයේදී කොමසාරිස්වරිය ඡන්ද විමසීම ආරම්භ කර ඇති අතර එහිදී ජාතික ජනබලවේගය මන්ත්‍රීවරු රහස් ඡන්දයක් ලෙස ඊට ඡන්දය ලබාදී තිබේ.

එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරු සිය අසුන්වල සිට විවෘතව ඡන්දය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ජාතික ජනබලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයාට සහ විපක්ෂයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයාට ඡන්ද 17 බැගින් ප්‍රකාශ වී ඇත. ඡන්දය සමවීමෙන් අනතුරුව නිලධාරීන්ගේ සාකච්ඡා මැද කොමසාරිස්වරිය ප්‍රකාශ කර ඇත්තේ ජාතික ජනබලවේගය වෙනුවෙන් ඡන්ද පත්‍රිකා භාවිත කරමින් ඡන්දයක් ප්‍රකාශ වී ඇති බැවින් ඡන්ද 17ක් පමණක් ප්‍රකාශ වී ඇති බවත්ය.

එබැවින් ජාතික ජනබලවේගයට නව සභාපතිධුරය හිමිවන බවය. එහිදී විපක්ෂයේ දැඩි විරෝධතාවය එල්ල වී තිබේ. එබැවින් සභාවේ කටයුතු දින නියමයක් නොමැතිව කල්තබා ඇත.
අකිත පෙරේරා