කිතුල් මල් කපන පිහියකින් තම දියණියගේ ගෙල කපා තුවාල කළ බව කියන පියෙකු අයගම ප්‍රදේශයේ පිහිටි අනියම් බිරිඳගේ නිවසේ සිටියදී බුලත්සිංහල පොලිසිය මගින් ඉකුත් 23 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ ලොකුමාන්නගේ තක්ෂිලා ලක්මාලි (අවු. 25) යන අය හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේ පදිංචිව සිටි තමා ස්වාමි පුරුෂයා සහ අවුරුද්දක් වයසැති දරුවාත් සමග නිග්ගහ, බටහේන ප්‍රදේශයේ ආච්චිගේ නිවසට පැමිණියේ වගා කටයුතු සඳහා බව තුවාලකාරිය පොලිසියට ප්‍රකාශ කර ඇත. ඉකුත් 22 වැනිදා ආච්චිගේ නිවස අසල නිවසක අවමංගල්‍යයක් සිදුව තිබූ බවත්, ඒ සඳහා නිවසේ ආච්චිත්, පියාගේ අනියම් බිරිඳත් රාත්‍රී ආහාර පිළියෙළ කරමින් සිටි බවත් ඇය කර තිබූ ප්‍රකාශයේ සඳහන් වේ.
රාත්‍රී 8.30ට පමණ බීමත්ව පැමිණි පියා ආච්චිට පහර දෙන විට තමා ඇයව බේරා ගැනීමට යෑමේදී ඇතිවූ වචන හුවමාරුව දුරදිග යෑමෙන් පසු පියා තමාගේ බෙල්ලට හා පිට ප්‍රදේශයට කිතුල් මල් කපන පිහියෙන් පහරදුන් බවත් ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
සැකකරු අයගම පොලිස් වසමේ පිහිටි ඔහුගේ අනියම් බිරිඳගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (24 දා) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කළුතර විශේෂ – එස්. ආරච්චිගේ