පදනම් විරහිත චෝදනා ගැන ආචාර්යවරු කලකිරීමෙන්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බාහිර උපාධි කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇත.
මේ අනුව බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය මගින් පවත්වනු ලබන බාහිර උපාධි පාඨමාලා, සම්මන්ත්‍රණ සහ ලියාපදිංචි කිරීමේ කටයුතුවලින් තාවකාලිකව ඉවත් වීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තීරණය කර ඇත.
පසුගිය කෝප් කමිටු රැස්වීමකදී සාකච්ඡා කෙරුණු බාහිර උපාධි සහ විස්තාරිත පාඨමාලා ඒකකය හා සම්බන්ධිත ගැටලුකාරී කරුණු හේතුවෙන් මේ තීරණය ගෙන තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මැදිහත් වී මේ ගැටලු විසඳීමට හැකි ඉක්මනින් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ආචාර්යවරු පිරිසක් ඊයේ (24දා) ‘දිවයින’ ට ප්‍රකාශ කළහ.
මේ සම්බන්ධයෙන් පදනම් විරහිතව එල්ල වී ඇතැයි කියන චෝදනා හේතුවෙන් තමන් කලකිරීමට පත්ව සිටින බවද ඇතැම් ආචාර්යවරු බාහිර උපාධි පාඨමාලාවලට අදාළව දරන ලද තනතුරුවලින් ඉවත් වීමට යෝජනා කර ඇති බවද එම ආචාර්යවරු තවදුරටත් ‘දිවයින’ට ප්‍රකාශ කළහ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත