ලංකාවේ සමාජ දේශපාලනය පිළිබඳ අවධානය යොමු කිරීමට පෙර මේ වනවිට ලොවම බලා සිටින ඊශ්‍රායල් – ඉරාන යුද ගැටුම සම්බන්ධයෙන් කතා කිරීමට අපට ද සිදුව තිබේ. ඊශ්‍රායල් – ඉරාන ගැටුම දෙස බලමින් හොර ගල් අහුලමින් සිටි ඇමෙරිකාව දැන් ඍජුවම ඒ ගැටුමට මැදිහත්ව සිටියි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය පිළිබඳව මේ වනවිට විරෝධතා ද එල්ල වෙමින් තිබේ. ඇමෙරිකාවේ කොංග්‍රස් සභිකයන් විසින් ද ඒ ප්‍රහාරය හෙළා දැක තිබෙන අතර ඇමෙරිකාවේම ජනකොටස් එයට විරෝධතා දක්වමින් වීදි බැස සිටීම ද කැපී පෙනුණු සිදුවීමකි. බි්‍රතාන්‍යය, ප්‍රංශය ඇතුළු රටවල් මේ සම්බන්ධයෙන් දුර්මුඛව සිටියදී රුසියාව, චීනය හා පාකිස්තානය එක්ව මෙම ඇමෙරිකානු මැදිහත්වීම් නැවත්වීමට, එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ක්‍රියා කළ යුතු බවට යෝජනාවක් ද ඉදිරිපත් කර තිබුණි. එහෙත් එහි ආරක්ෂක මණ්ඩලය තවම එයට දැක්වූ ප්‍රතිචාරය ගැන ද වාර්තා වී නැත. කොහොමටත් ඇමෙරිකානු බල අධිකාරයට එරෙහිව සත්‍යය හා යුක්තිය සමග වුව ද සිටගැනීමට මේ සංවිධානවලට හෝ බටහිර නායකයන්ට ශක්තියක් නැති බව ද අපි දනිමු. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇත්තෝනියෝ ගුතරෙස්ට වුව ද ඒ ඇමෙරිකානු උන්මාදයට එරෙහිව ප්‍රබල ප්‍රතිචාරයක් දැක්වීමට ද නොහැකි ය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට පහරදී ඇත්තේ න්‍යෂ්ටික බල කඳවුරු විනාශ කිරීමට බව පවසා තිබේ. එසේම ඒ ප්‍රහාර ක්‍රියාත්මක වන ආකාරය ද ඔහු තාක්ෂණය ඔස්සේ නැරඹූ අයුරු අපිදු දිටිමු. කුමක් වුවත් මේ මැදිහත්වීම් ඊශ්‍රායලයට ප්‍රබල උත්තේජනයක් බව එහි අගමැති නෙතන්යාහුගේ ප්‍රකාශවලින් පැහැදිලිව දැකගත හැකි ය. ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි පවසන්නේ ඇමෙරිකාවට පාඩමක් උගන්වන බව ය. වෙනකක් තබා කමේනි දිවි පිදීමට වුව ද සූදානම් බව පළවී තිබේ. ඔහු විසින් අනුප්‍රාප්තිකයෙක් නම්කරන ලද බවක් ද පළ විය. ඉරාන විදේශ ඇමැතිවරයාගේ අවධාරණය වූයේත් ඇමෙරිකාවට කලක් පවතින ප්‍රතිවිපාක විඳීමට සිදුවිය හැකි බවය. මේවායේ හරය වන්නේ මරාගෙන මැරීමට ඉරානය සූදානම් බව නොවේ ද? කොහොමටත් මෙයට පෙර ඇමෙරිකාව විසින් ඉරාකයට එරෙහිව කරන ලද මෙහෙයුම්වලින් එදා එහි නායක සදාම් හුසේන් මරා දැමීම ද අතිශය විවාදාත්මක කරුණක් විය. අද ඇමෙරිකාවේ ඉලක්කය ඒ ආකාරයටම කමේනිව බලයෙන් පහ කිරීම බව ද පැහැදිලිය. එහෙත් ඒ වෙනුවෙන් ගෙවිය යුතු ජීවිත වන්දිය කුමක්දැයි මේ යුදවාදීහු අමතක කරති. භෞතික විනාශයට වඩා මිනිස් ජීවිත බිලිදීමට සිදුවන යුද්ධයක කුරිරු බව මොවුහු අමතක කරති. මානව හිමිකම් සංවිධාන, ජගත් සාමය සඳහා සමුළු පවත්වන සිවිල් සංවිධාන මෙහිදී දුර්මුඛව සිටීම ද සංවේගයකි.
මෙබඳු අවස්ථාවල ඇමෙරිකාවට සහාය දක්වන බලවත් රාජ්‍ය නායකයන්ට ද සාධාරණය හා යුක්තිය සම්බන්ධයෙන් වූ මිනුම් දණ්ඩ වන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ස්ථාවරය පමණි. ඇමෙරිකාවට වුවමනා පාලනයක් ඉරානයේ ස්ථාපිත කිරීම මේ අමෙරිකානු මෙහෙයුම්වල අපේක්ෂාව බව ද පැහැදිලිය. විදේශ විත්ති විශ්ලේෂකයකු ප්‍රකාශ කර තිබුණේ ෂා පරපුරට අයත් සාමාජිකයකු ඇමෙරිකාවේ රැකවරණ ලබමින් සිටින බවය. ඒවා අනාගතයේදී ඉදිරිපත් වීමට හෝ නොවීමට තිබෙන දේවල් ය. එහෙත් ඉරානයේ කමේනිගේ බලය විනාශ කිරීම ට්‍රම්ප්ගේ එකම අරමුණ බව පැහැදිලිය.
මෙවන් ලෝක අර්බුදයකදී පීඩාවට, අනිසි විපාකවලට මුහුණ දෙන රටවල් අතර ලංකාව ද සිටියි. ඉන්දියාව එහිදී අපට වඩා බලවත් හා ශක්තිමත් රටකි. විශේෂයෙන් ලංකාවට එල්ල විය හැකි ප්‍රබලම අභියෝගය ඉන්ධන හෙවත් තෙල් ය. ගෑස් ද එයට ඇතුළත් ය. මේ ලියන මොහොත වනවිට ඉරානය විසින් ගන්නා ලද හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සඳහා එහි පාර්ලිමේන්තු අනුමැතිය ද ලැබී තිබේ. ඉරානය සතු 30%ක තෙල් අධිකාරී බලය ඍජුවම ආසියානු කලාපය මත පදනම්වූවක් බව ද කියති. ආර්ථික විශේෂඥයන් කීපදෙනකුම මේ තෙල් ප්‍රශ්නය ගැන සඳහන් කර තිබුණි. තෙල් බැරලයක මිල ඉහළ යෑමේ අනතුරක් ගැන ද ඔවූහු පවසති. අසීරු ආර්ථික ගමනක යන ආණ්ඩුව මෙම ඉන්ධන අර්බුද කුණාටුවට හසු වුවහොත් සිදු නොවිය හැක්කේ කුමක්ද? මේ පිළිබඳව අදහස් දැක්වූ ඇතැම් කෙනකු පැවසුවේ ලංකාව රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම කෙරෙහි අවධානයක් නොදැක්වූ බවය. තෙල් මෙන්ම ගෑස් යනු කිසිවකුට නොතකා හැරිය හැකි දේවල් ද නොවේ. මේ රටේ ඉන්ධන හා විදුලිය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තිබෙන විවේචන, චෝදනා අදත් අපට ඇසෙයි. ඒ මොනවා වුවත් දැන් ඒවාට මුහුණදීමට සිදුවී තිබෙන්නේ මේ ආණ්ඩුවට ය. පසුගිය පාලන යුගවල ඇතැම් මැති ඇමැතිවරුන් මෙන් ම නිලධාරීන් විසින් ද පාවිච්චි කරන ලද සුපිරි වාහන, තෙල් බව්සර් ගණන් ගිල දැමූ බව අදත් කියනු ඇසෙයි. එබඳු ක්‍රියාවලට වගකිව යුතු සමහරු අද සිරගෙවල්වල ද සිටිති. දේශපාලනඥයන්, නිලධාරීන් යනු රටක හෘදය සාක්ෂියට ගරු කරන ජනතාවට පරමාදර්ශ ලබාදෙන අය වෙති. එහෙත් මෙරටේ දශක ගණනක් සිදු වූයේ ඒ දේශපාලනය හා රාජ්‍ය තන්ත්‍රය පරිහානියට පත්වීමකි.

ජනාධිපති අනුර කුමාර දින කීපයකට පෙර ඓතිහාසික ඇත්කඳ විහාරයේ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යයේ ශතක සංවත්සර උළෙලේදී ප්‍රකාශ කළේත් ආධ්‍යාත්මිකව පිරිහුණු සමාජයක කෙතරම් භෞතික සංවර්ධනයක් සිදු වුවත් එය නිෂ්ඵල දෙයක් බවය. ජනාධිපතිවරයා පැවසූ පරිදිම අද අප ඉදිරිපිට ඇත්තේ සංස්කෘතික වටිනාකම් නොමැති, අපේ හර පද්ධතීන් අමතක කළ සමාජයකි. අප දකින්නේ ඒ සමාජය ඕපපාතිකව පහළවූවක් නොව මේ රට පාලනය කළ දේශපාලන නායකයන් විසින් කරන ලද ජාතික ආගමික, සංස්කෘතික මෙන් ම ආර්ථික හා දේශපාලනික ක්‍රියාකාරකම්වල නියත ඵලයක් ලෙස ය. තමන්ගේ දේශපාලන බල ව්‍යාපෘතිය රැකගැන්මට, නීතිය අවභාවිත කළ දුසිරිත සිරිත බවට පත් කරගත් නීතියට ද සරදම් කළ දේශපාලන නායකයෝ ද අපට වූහ. ඒ බොහෝ දෙනෙක් රාජ්‍ය තාන්ත්‍රික වගකීම පැහැර හැරියහ. නීතියට ගරු නොකළහ. දේශපාලනයම වසල මෙහෙයුමක මට්ටමට පහත හෙළුෑහ. ජාතික සම්පත්, ජනතා මුදල් තම වත්කම්වලට එකතු කරගත්හ. දූෂණය, වංචාව, අල්ලස, රාජ්‍ය සේවයේ පහළ සිට මුදුනටම ගලා ගියේය.
මේ වනවිට ද නීතිය ඉදිරිපිට විමර්ශනය වන හා අධි චෝදනා සකස් වෙමින් තිබෙන දේශපාලන, රාජ්‍ය සේවය සම්බන්ධ ක්‍රියාකාරකම් දෙස බලන ප්‍රබුද්ධ පුරවැසියන් තුළ ඇතිවන්නේ දැඩි සංවේගයකි. අපේක්ෂාභංගත්වයට පත් සමහරු රටහැර ගොස් ද සිටිති. අනීතිකව උපයාගත් සමහරුන්ගේ ධනය රටින් පිට තිබෙන බව ද කියති. පසුගිය දිනවල මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කරන ලද දූෂණ – වංචා ක්‍රියාකාරකම් සම්බන්ධ අයගේ ලේඛනයෙහි වැඩි දෙනෙක්ම දේශපාලනඥයෝ වූහ. ඔවුන්ගේ වත්කම් ගැන විමර්ශන සිදු කර සැක සහිත ධනය ඉපයීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව ද ආණ්ඩුව පවසා ඇත. ඒවා නීතිය විසින්ම පිරිපහදු කර සත්‍යය හෙළි කරගත යුතු දේවල් ය. එහෙත් මේ සිදුවීම්වලින් හෙළි කරන සමාජ දේශපාලන පරිහානියක් ද තිබේ. හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ද වන කෙහෙළියගේ පවුලටම වාගේ දූෂණ චෝදනා නැඟී ඇත. පවුලේ අයගෙන් බහුතරයක් එබඳු තත්ත්වයකට පත්වීම අප අර්ථ දක්වන්නේ කෙසේ ද? බන්ධනාගාර අධිපතිවරයාගේ දෑතට මාංචු දැමීමට ජේලර්වරුන්ට සිදුවීම අප තේරුම් ගන්නේ කෙසේ ද? පොලිසියට බියෙන් සැඟවී සිටි පොලිස්පතිවරයා අද ඔහුගේ පව් වමාරමින් සිටින්නෙහි දැයි අපි නොදනිමු. එහෙත් ඒ තත්ත්වයට පොලිසිය බාල්දු වී තිබේ නම් එය බරපතළය.
අද මෙරටේ සෞඛ්‍ය, ප්‍රවාහන, අධ්‍යාපන වැනි කේන්ද්‍රීය මහජන ආයතනවල තත්ත්වය ඉතා පහළ මට්ටමකට වැටී තිබේ. හිටපු සෞඛ්‍ය ඇමැති චෞර චෝදනාවලට ලක්ව සිටින රටක වෛද්‍යවරුන් අතර ද ජාවාරම්කරුවන් බිහිවීම පුදුමයට කරුණක් නොවේ. එහෙත් ඒ මහජන සේවාව පරිහානියට පත් කරන වසලයන්ට ජීවක යන ගරු නාමය අපට දිය නොහැක. එසේම අදත් ජන දුක නළාවට කලින් ඇසට අසුවන මානුෂීය දොස්තරවරුන්ට අපි ආචාරය පළ කරමු. සුප්‍රකට සේනක බිබිලේ භූමිකාව ගැන අප ද බොහෝ විට සඳහන් කර ඇත. ඕනෑම වෘත්තියකට නිපුණත්වය කාර්යක්ෂම භාවය මෙන්ම හෘද සාක්ෂියක් සහිත උතුම් මිනිස්සු ද අවශ්‍ය වෙති. විශේෂයෙන් අද සිදුවන වෛද්‍ය වෘත්තියට අදාළ ක්ෂේත්‍රවල වර්ජන ගැන අපට විවේචනයක් තිබේ. වෘත්තීය කුසලතාවට අමතරව ඒ අයට ප්‍රඥාවක් ද තිබිය යුතු බව අප මෙයට පෙර ද යෝජනා කර තිබේ.
රටක් පොදුවේ පරිහානියට ලක්වන පසුබිමක අධ්‍යාපනය පමණක් ඉතිරි විය නොහැක. මේ අධ්‍යාපන පරිහානිය අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පිටින් යැවීමට ද අපි ඉක්මන් නොවෙමු. එය පිරිපහදු කර විනය, සංවරය සහිත පරපුරක් බිහි කිරීමේ වගකීම අද ඇයට භාර වී තිබේ. විශ්වවිද්‍යාලවල නවකවධ නීතිය හමස් පෙට්ටියක නොදැම්මේ නම් එහි නවකවධ ඝාතකයන්ට ඉඩක් නැති වීමට ද තිබුණි. උපකුලපතිලා මෙන් ම පරිපාලනය භාර වූ බොහෝ දෙනකුගේ පතෝල පාලනය ද විශ්වවිද්‍යාල අධ්‍යාපනය කඩාවැටීමට එක් හේතුවක් විය. විශ්වවිද්‍යාල යනු මුදා නොගත් ප්‍රදේශ බවට පත්කර ගත්තේ ද යම් යම් දේශපාලන මෙහෙයුම් නිසාය. විශ්වවිද්‍යාලය යනු විදුහල්පතිවරයකු විසින් පාලනය කරනු ලබන පාසලක් නොව, වාද විවාද සංවාද සහිත බුද්ධිමය කේන්ද්‍රයක් බව අද තත්ත්වය අනුව නම් අපට කිව නොහැක. (මේ ලියුම්කරුට විශ්වවිද්‍යා
ලය සම්බන්ධ අත්දැකීම් ඇත. ඒ හැටේ දශකයේ අගභාගය තරම් ඈතට දිවයන්නකි.)
විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය නායකයෝ ද මේ තත්ත්වයෙන් තම විශ්වවිද්‍යාලය ගොඩනැඟීමට දායක විය යුත්තෝ ය. පාසල් පද්ධතිය බිඳවැටුණේ ද මුග්ධ දේශපාලනය නිසා බව පමණක් සඳහන් කරමු. එය වෙනස් කර ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සම්මත කර ගැනීම අද තිබෙන මූලික කාර්යය බව ද සිහිපත් කළ යුතුය.
දැන් අප විමසා බලන්නේ ඊශ්‍රායලය හා ඉරානය අතර සිදුවන බල අරගලය තරම් ප්‍රචණ්ඩ හා සාහසික නොවුව ද යම් ප්‍රමාණයක සාහසික හා නග්න බල අරගලයක් බවට පත්ව තිබෙන පළාත් පාලන ආයතන බල පොරය දෙසට ය. සජබය පොදු විපක්ෂය ලෙස එක්ව ඒ ඒ සභාවල බලය ලබාගන්නා බව පවසා ඒ අනුව ක්‍රියා කළත් ඇතැම් තැන්වල ඔවුන්ට අත්වූයේ පරාජයකි. මෙය දේශපාලන බලය සඳහා අවස්ථාවාදී
රංචුගැසීමක් බව ජාජබයේ විවේචනයයි. රාජපක්ෂවරුන් විවේචනය කළ සජබය, බලය සඳහා එහි මහ ලේකම් ද සමග එකට හිඳගෙන මාධ්‍ය සාකච්ඡාවක් කළේය. එහෙත් සජබය හා පොහොට්ටුව කිසිසේත් එකඟ නොවන පසමිතුරු දේශපාලනයක යෙදී සිටින පක්ෂ බව කව්රුත් දනිති. මෙයට එක්වූ ශ්‍රී.ල.නි.ප ඇතුළු පක්ෂවලින් ද පිළිබිඹු වූයේ අවස්ථාවාදී බොළඳ දේශපාලනයකි. අපේ දේශපාලනඥයන්ගේ එකම අරමුණ බලයයි. එහෙත් ඒ සඳහා ශිෂ්ට හෝ සදාචාර පිළිවෙත් අමු අමුවේ උල්ලංඝනය කිරීම ඒ දේශපාලනයේ ජීවය වියැකී යෑමට හේතු විය. එහෙත් ඔවුහු ඒ දේශපාලන සෙල්ලම අත්නොහරිති. විවේචන – චෝදනා පරිභව කිරීම් ඒ ගොරෝසු දේශපාලන සිරුරුවලට සාමාන්‍ය දේවල්ය.
අද සජබය මෙන්ම පොදු ජන පෙරමුණ ද දේශපාලනයේ පවිත්‍රභාවය, සදාචාරය ගැන විවිධ අලංකාර යොදා අපට දෙසති. එහෙත් මේ බොහෝදෙනකු සිය දේශපාලන භාවිතය තුළින් රටට දී තිබෙන චිත්‍රය අන්ත දූෂිත එකකි. දේශපාලනය වසලයන්ගේ නොව මහත්වරුන්ගේ ප්‍රතිචාරයක් බව අප පිළිගනිමු. එහෙත් මේ රටේ එයට ලැබුණු දායකත්වයක් නැත. කෙක්කෙන් බැරි නම් කොක්කෙන් හෝ බලය ඩැහැ ගැනීම ඒ බොහෝදෙනකුගේ ක්‍රමවේදය බව කීම නිවැරදි ය. එසේම මොන ආකාරයක වරදක් දූෂණයක් සිදු කළත් පාක්ෂිකයා රැකීම නායකයාගේ සිරිත විය. සියලු දුසිරිත්වලට ඒ නායකත්වයේ නිහඬ බව හෝ ආශිර්වාදය හේතු විය. අද ඇතැම් පක්ෂ වෙනුවෙන් ප්‍රකාශ කරන සමහරු දේශපාලන සදාචාරය හා දේශපාලන පතිවත ගැන ද අලංකාර විග්‍රහ කරති. එහෙත් ඔවුන්ගේ ඇතැම් අනුගාමිකයන් බලය යොදා සදාචාරය ද වැළඳූ ආකාරය අපට මතකය.
කලකට පෙර එක් දේශපාලන අනුගාමිකයකු විසින් සිදු කරන ලද විෂමාචාරයක් පිළිබඳ මාධ්‍යවල පවා වාර්තා විය. එහෙත් ඒ අශිෂ්ට ක්‍රියාවට එරෙහිව ගත් පියවරක් නැත. කාලය විසින් වළ දැමූ ඒ දූෂිත අධම ක්‍රියාව පසුකාලීනව කවියකුගේ නිර්මාණයකට නිමිති විය. රුවන් බන්දුජීව කවියාගේ ඒ නිර්මාණය ජාජබ වේදිකාවලින් ඇසුණි. කුමක් වුවත් කවියා අපට පවසන්නේ ඒ අධම සංස්කෘතියෙන් බිඳකි. මේ එයින් උපුටාගත් කවියකි.
පියයුරු දෙසී යයි
දෙකෙන් බෙදුවම ගෑනු සීයයි
සාදය නන්දනී යයි
මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි
(ඊළඟ මීවිත කාව්‍ය සංග්‍රහය)
මේ සිද්ධියට එරෙහිව එදා දේශපාලන බලවත්හු අවම වශයෙන් තම පාක්ෂිකයාගෙන් විමසීමක් හෝ නොකළහ. එබඳු දුසිරිත් වැපිරූ දේශපාලන පක්ෂ අද දේශපාලන සදාචාරය ගැන කතා කිරීම ගැන අපි තේරුම් ගන්නේ කෙසේ ද?
ඒ සියල්ල හරිය. එහෙත් ඒ අමන දේශපාලන සංස්කෘතියේ පිහිට, ආධාර ගැනීමට මේ ආණ්ඩුවට සදාචාර වගකීමක් නැති බව ද අවධාරණය කළ යුතුය. පැවැති අධම, නීච වැඩවසම් ක්‍රමය පෙරළා ජාජබය තෝරාගත් ජනතාව කුමන හේතුවක් නිසා හෝ ඒ මඟට යොමුවීම අනුමත නොකරති. දූෂිතයන්, හොරුන්, අශිෂ්ටයන් ලෙස චෝදනාවට ලක්වූ දේශපාලනඥයන් ගෙදර යැවූ ජනතාව අපේක්ෂා කළේ සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියකි. එනිසා මේ පුංචි ඡන්දයේදී තමන්ට ලැබුණු අනුග්‍රහයේ පවිත්‍රත්වය මෙන්ම අව්‍යාජභාවය පිළිබඳව ආණ්ඩුව ජනතාවට පැහැදිලි කළ යුතුය. විපක්ෂය චෝදනා කරන ඩීල්, අපවිත්‍ර ගනුදෙනු, වරදාන තමන් නුදුන් බවට සහතික විය හැකි නම් ජාජබයට එල්ල වන විවේචන පදනම් විරහිත වනු ඇත. රටේ දේශපාලන සදාචාරය, විනය, සංවර්ධනය ගැන රටට වගකියන දේශපාලන සංස්කෘතියක් ලබා දිය හැක්කේ ජනතාව බහුතර ඡන්දයෙන් තෝරා පත්කර ගත් මේ ආණ්ඩුවට බව ද ඔවුහු සිහි තබා ගත යුතු වෙති.
ගාමිණි සුමනසේකර