අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය
සියලු පාසල් ආවරණය වන පරිදි මානව සහ භෞතික සම්පත් බෙදීයාම සහතික වන ලෙස ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේද හඳුන්වා දිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අමාත්‍ය මණ්ඩල තීරණයකින් පත්කරන ලද ඩිජිටල් අධ්‍යාපනය පරිවර්තනය (6-13ශ්‍රේණි) සඳහා වන කාර්ය සාධක බලකාය සමග 20දා පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.
අධ්‍යාපනය තුළ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සහ ඊට අදාළ අභියෝග මෙන්ම අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය මෙසේද පැවසුවාය.
ජාතික සහ පළාත් පාසල් දැනට පවතින 42,000 ඉක්මවා ඇති ගුරු හිඟය විසඳීම ඉතාමත් කඩිනමින් සිදුකළ යුතුයි. ගුරු හිඟයට පිළියමක් ලෙස ඉදිරි මාස හය තුළ ඉගෙනුම් පරතරය අවම කරගැනීම සඳහා පවතින සම්පත් උපයෝගී කරගනිමින් ඩිජිටල් ඉගෙනුම් ක්‍රම හඳුන්වා දීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා. මෙම කාර්ය සාධක බලකායේ ප්‍රධාන අරමුණු අතර ආබාධිත ප්‍රජාව සහ සියලු පාසල් සඳහා සමාන ලෙස පහසුකම් බෙදා හැරීම සහතික කිරීමත් ඇතුලත් වෙනවා. ඒ සඳහා බහුවිධ අංශ නියෝජනය කරන ශක්තිමත් කාර්ය සාධක බලකායක් අපිට අවශ්‍යයි.
කාර්ය සාධක බළකායේ නිලධාරීන් වෙනුවෙන් පත්වීම් ලිපි මෙහිදී ප්‍රදානය කළ අතර සභාපති ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පත්කර තිබේ. මෙම අවස්ථාවට වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න,අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ධනපාල යන මහත්වරුන් සහ කාර්ය සාධක බළකායේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.