අවසර නොලත් විදේශ විනිමය ගනුදෙනුවලට හවුල්වන හෝ එවැනි ගනුදෙනු සඳහා පහසුකම් සපයන ඕනෑම පුද්ගලයකුට එරෙහිව විදේශ විනිමය පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
විදේශයන්හි දේපළ මිලදී ගැනීම සඳහා සිදු කරන ආයෝජන ප්‍රවර්ධනය කරමින් පළ කරන වෙළෙඳ දැන්වීම් පිළිබඳ කරුණු පැහැදිලි කරමින් මහ බැංකුව මේ බව කියයි. මේ ගැන තවදුරටත් කරුණු දක්වන මහ බැංකුව මෙසේ ද සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ නේවාසික තනි පුද්ගලයන් අතර විදේශයන්හි නිශ්චල දේපළ මිලදී ගැනීම සඳහා සිදු කරන ආයෝජන (විදේශයන්හි දේපළ ආයෝජන) ප්‍රවර්ධනය කරමින් මුද්‍රිත සහ සමාජ මාධ්‍යවල පළ කරන ලද වෙළෙඳ දැන්වීම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතක දී නිරීක්ෂණය කර තිබේ. මෙම වෙළෙඳ දැන්වීම් මගින් එවැනි ආයෝජන සඳහා විදේශයන්ගෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීම සම්බන්ධයෙන් ද මග පෙන්වීම් ලබාදෙන බව නිරීක්ෂණය කර තිබේ.
2017 අංක 12 දරන විදේශ විනිමය පනත (විදේශ විනිමය පනත) යටතේ නිකුත් කර ඇති රෙගුලාසි සහ නියෝග මත පදනම්ව ඉහත සඳහන් ගනුදෙනු සම්බන්ධ පහත සඳහන් කරුණු පිළිබඳව මහජනතාවගේ අවධානය යොමු කරනු ලැබේ.
පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හරහා ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 20,000 ක් හෝ වෙනත් ඕනෑම නම් කරන ලද විදේශීය මුදල් වර්ගයකින් ඊට සමාන උපරිම අගයකට යටත්ව සිදු කරන ගෙවීම් හැර, විදේශයන්හි දේපළ ආයෝජන සඳහා ගෙවීම් සිදු කිරීමට ශ්‍රී ලංකාවේ නේවාසික තනි පුද්ගලයන් හට අවසරයක් නොමැත. ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හරහා විදේශයන්හි දේපළ ආයෝජන සඳහා ගෙවීම් සිදු කිරීමට ශ්‍රී ලංකාවේ නේවාසික ආයතනවලට හෝ තනි පුද්ගලයන්ට අවසරයක් නොමැත.
තවද, විදේශයන්හි දේපළ ආයෝජන සඳහා අරමුදල් සපයා ගැනීම ඇතුළු වෙනත් කිසිදු අරමුණක් සඳහා විදේශ ණය ලබාගැනීමට හෝ විදේශයන්හි නේවාසික පුද්ගලයන්ගෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ නේවාසික තනි පුද්ගලයන්හට අවසරයක් නොමැත.
ඉහත සඳහන් තත්ත්වයන් යටතේ, විදේශයන්හි දේපළ ආයෝජන ප්‍රවර්ධනය කරමින් සහ එවැනි ආයෝජන සඳහා විදේශයන්ගෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීම පිළිබඳව මග පෙන්වීම් සිදු කරමින් මුද්‍රිත හා සමාජ මාධ්‍යවල පළ කරනු ලබන වෙළෙඳ දැන්වීම් පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට දැනුම් දෙයි. එවැනි අවසර නොලත් විදේශ විනිමය ගනුදෙනුවලට හවුල්වන හෝ එවැනි ගනුදෙනු සඳහා පහසුකම් සපයන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව විදේශ විනිමය පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු කෙරෙනු ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත