අධි සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම්කර ඇති සිංහරාජ වනාන්තරය හරහා දිවෙන අඩි අටක මාර්ගය අඩි 15ක පළලකින් යුත් මාර්ගයක් බවට සංවර්ධනය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී ඔහුගේ පෞද්ගලික මැදිහත්වීමෙන් ගත් පියවර අභියෝගයට ලක්කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය හා පරිසරවේදීන් ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (20දා) තීරණය කළේය.
දේශපාලනඥයන්ට හා දේශපාලන හිතවතුන්ට අයත් යැයි කියන සංචාරක හෝටල් හා සංචාරක නිකේතන කරා යෑමට ගමන් පහසුව සැලසීමේ අරමුණින් සිංහරාජය හරහා දිවෙන පටු මාර්ගය නෙළුව සිට දෙනියාය දක්වා පුළුල් කිරීමට පියවර ගෙන ඇති බවත් එකී ක්‍රියාකලාපය නිසා දෙපස පිහිටි වසර සිය ගණනක් පැරණි ඉතා වටිනා ගස් විශාල ප්‍රමාණයක් විනාශවීමක් පමණක් නොව දැඩි පාරිසරික හානියක් සිදුවන බවත් කියමින් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමට ද නියෝග කළේය.
එම පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා, වනසත්ව හා වනසංරක්ෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සී. බී. රත්නායක, පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද අමරවීර, මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ යන මහත්වරුන් හා නීතිපතිවරයා නම් කොට තිබිණි. නීතිඥ නිම්මි සංජීවනී මෙනවිය මගින් 2021 වසරේ මාර්තු මස පරිසර යුක්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා විසින් එම පෙත්සම ගොනු කර තිබිණි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික මැදිහත්වීමෙන් එකී මාර්ගය සෑදීමට බැකෝ යන්ත්‍ර වැනි යාන්ත්‍රික උපකරණ භාවිත කිරීමට 2020 අගෝස්තු මස ගත් පියවර ජාන හා ජෛව සංරක්ෂණයට දැඩි හානියක් සිදුකරනා ක්‍රියාවක් බවත්, එය පුළුල් කිරීම සඳහා කිසිදු රාජ්‍ය ආයතනයකට අවසර ලබාදීමේ හැකියාවක් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරනා ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වය එමගින් ඉල්ලා තිබිණි.
ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ නයෝමි කහවිට මහත්මිය නීතිපතිවරයා ප්‍රමුඛ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ සමන්ති පොන්නම්පෙරුම හා මතාෂා ජයසිංහ යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක