කථානායක වෙලාව නොදීමට එරෙහිව විපක්‍ෂය සභාවෙන් පිටවෙති
මිනිත්තුවක් දෙන්න – ගයන්ත කරුණාතිලක
දෙන්න බෑ – කථානායක
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නැගිට්ටේ වල් පල් දොඩවන්න නොවෙයි
අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව නැත්නම් අපි සභාවේ ඉන්නේ නෑ – විපක්ෂ නායක සජිත්
විපක්ෂයේ මන්ත්‍රීවරු හැසිරුණු ආකාරය පිළිගන්න බෑ – ඇමැති නලින්ද ජයතිස්ස
ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මෙරටට ඇති විය හැකි අහිතකර බලපෑම් පිළිබඳව විපක්ෂයට පාර්ලිමේන්තුවේ දී ඊයේ (17දා) පෙරවරු කාලයේ දී අදහස් දැක්වීමට කථානායකවරයා ඉඩ ලබා නොදීම නිසා ඇති වූ මතභේදකාරී තත්ත්වයට විරෝධය පළ කරමින් ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රීවරු සභාගැබෙන් ඉවත්ව ගියහ.
ඊයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී මූලික කටයුතු අවසන් වූ පසුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සිය අසුනෙන් නැගිට යම් කාරණයක් ප්‍රකාශ කිරීම සඳහා උත්සාහ කළේය.
ගයන්ත කරුණාතිලක මහතා- ඉතාම සංවේදී වැදගත් කාරණයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කථානායකතුමාගෙන් මම මේ මොහොතේ මිනිත්තු එකහමාරක් ඉල්ලනවා. විපක්ෂය වෙනුවෙන්.
කථානායක- පොයින්ට් ඔෆ් ඕර්ඩර් එකක් නම් පොයින්ට් එක මොකක්ද? (රීති ප්‍රශ්නයක් නම් රීති අංකය කුමක්ද)
ගයන්ත කරුණාතිලක මහතා- මෙය හදිසි ප්‍රශ්නයක්, රටට බලපාන. මට එක මිනිත්තු එකහමාරක් දෙන්න. ඔබතුමාට තේරේවි එතකොට.
කථානායක- ඕක යෝජනාවකින් ගේන්න පුළුවන්නේ.
ගයන්ත කරුණාතිලක මහතා- මිනිත්තුවක් දෙන්න… දුන්නා නම් දැන් ඉවරයි.
කථානායක- මේක ඊට පස්සේ වාද විවාදවලට යනවා. දෙන්න බෑ.
ගයන්ත කරුණාතිලක මහතා- මේක පාර්ලිමේන්තුව නොවෙයිද?
කථානායක- පාර්ලිමේන්තුව තමයි, මේ ක්‍රමයට යන්න ඕනා.
ඉන්පසුව කථානායක විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරනු ලබන ප්‍රශ්න ඇසීමේ වටය ආරම්භ කර අනතුරුව 27/2 යටතේ විමසනු ලබන ප්‍රශ්න ඇසීම සහ ඒවාට පිළිතුරු ලබා දීමේ වටය ලැබීය. එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඒ යටතේ ප්‍රශ්නයක් විමසීය. අනතුරුව නැවතත් ඔහු ප්‍රශ්නයක් ඇසීමට වේලාව ඉල්ලා සිටියේය.
විපක්ෂනායක- කථානායකතුමා මට යම් අවස්ථාවක් තිබෙනවා ද යම් කාරණයක් සම්බන්ධයෙන් ඔබතුමා ආමන්ත්‍රණය කරන්න. විපක්ෂ නායක ලෙස
කථානායක- එය විශේෂ කාරණයක්ද?
විපක්ෂනායක- ඔව්, ජාතික වශයෙන් වැදගත් කාරණයක්.
කථානායක- ඔබට විසිහත දෙක යටතේ ගන්න පුළුවන්. දැන් අවස්ථාව දෙන්න බෑ. (විපක්ෂයේ ඝෝෂා, විපක්ෂනායකට කතා කරන්න අවස්ථාව දෙන්නැයි ඉල්ලති.)
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා-
ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද්ධය නිසා අපට ඇතිවන බලපෑම සම්බන්ධයෙන් ඕනෑම මන්ත්‍රීවරයකුට අදහස් දක්වන්න අයිතියක් තිබෙනවා. එවැනි හදිසි ප්‍රශ්න ඉදිරිපත් කරන්න තමයි විසිහත දෙක අවස්ථාව තිබෙන්නේ. එවැනි අවස්ථා දෙකක් තිබුණා. විපක්ෂනායකතුමාට අද වැදගත්කම සලකා කතා කළ යුත්තේ මොකක්ද කියා තීරණය කර ඒ අවස්ථාව ගන්න තිබුණා. නමුත් එතුමා ඒ අවස්ථාව ගත්තේ නෑ. අද සවස ගීතා හේරත් මන්ත්‍රීතුමිය කල්තැබීමේ යෝජනාවක් ගෙනඒමට නියමිතයි. මේ මැද පෙරදිග යුද ගැටුම ගැන. නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරු හැසිරුණු ආකාරය පිළිගන්න බෑ. කථානායකවරයාට එරෙහිව කියපු කාරණා ගැලපෙන්නේ නෑ.
විපක්ෂ නායක- ඊශ්‍රායලයේ අපේ රටේ පුරවැසියන් දසදහසකට වැඩිය රැකියා කරනවා. ජීවත් වෙනවා. ඒ අය වෙනුවෙන් ගන්න පියවර මොනවද කියලා ආණ්ඩුවට ප්‍රකාශයක් කරන්න තිබුණා. විපක්ෂය අහනකම් ඉන්න ඕනේ නෑ.
කථානායක– විසි හත දෙක යටතේ ඇසිය යුතු ප්‍රශ්නය විය යුත්තේ ඕක තමයි.
විපක්ෂ නායක – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නැගිට්ටේ වල් පල් දොඩවන්න නොවෙයි. අපේ රටට බලපාන ප්‍රශ්නයක් කතා කරන්න. (විපක්ෂ මන්ත්‍රීවරු ඝෝෂා කර අසුන්වලින් නැගිටිති.)
කථානායක- විපක්ෂ නායකතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකක්ද?
විපක්ෂනායක – කථා කරන්න අවස්ථාව දෙන්න. ඔබතුමා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකට කතා කරන්න අවස්ථාව දුන්නානේ. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකට කතා කරන්න අවස්ථාව දෙන්න. ඔබතුමා මේ සභාවේ භාෂණයේ නිදහසට බාධා කරනවා. ඔබේ වගකීම තමයි ආණ්ඩුවට වගේම විපක්ෂයට එක හා සැලකීම. දෙවිදිහකට සලකන්න බෑ. අපි තවදුරටත් ඔබතුමාගේ මේ ක්‍රියා කලාපය අනුමත කරන්නේ නෑ. අපිට මේ අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්නැත්නම් අපිට මේ සභාවේ රැඳී ඉන්නට බැහැ.
කථානායක- ඔබතුමාත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකත් එකම දේ කියන්නේ.
(විපක්ෂයේ මන්ත්‍රීවරු “ඔබතුමා සභාව කරගෙන යන්න ඔය විදිහයටම” කියමින් සභාවෙන් පිටව යති.)
එහෙත් විපක්ෂයේ ඉලංකෙයි තමිල් අරසුකච්චි මන්ත්‍රිවරු සභාවේ අසුන් ගෙන සිටියහ. එහි මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා තමන්ට රිසි පරිදි වේලාව ලබාගෙන ඊයේ විවාදයේදී අදහස් දැක්වීය. ඒ සඳහා කථානායකවරයා ද වේලාව කොපමණ අවශ්‍ය දැයි අසා මන්ත්‍රීවරයාට අදහස් දැක්වීමට ඉඩ ලබා දුන්නේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන