සලිඳු, නිලංග ඩුබායි පැන්නේ මතුගම ශාන් එක්ක…

760 Views

පානදුර වෙඩි තැබීම් මාලාවේ ඇත්ත කතාව මෙන්න…

ඇප අරන් රට පැන්න සලිඳු පානදුර කුඩු කිරුළ රැක ගන්න ඩුබායි නිලංග සමග ද්වන්ද සටනක…

තරාතිරම නොබලා හිටපු මැති ඇමැතිවරුන්ට දඬුවම් ලැබුණත්, පාතාල කණ්ඩායම් විසින් සිදුකරනු ලබන අපරාධවලනම් කිසි අඩුවක් දක්නට නොමැත. මෙම වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට මැයි මස විසිනමය දක්වා ගතවූ මාස පහක කාලය තුළ වෙඩි තබා ගැනීමේ සිද්ධීන් පනහක් වාර්තා විය. ඉන් පුද්ගලයන් තිස් දෙනෙක් ජීවිතක්ෂයට පත්විය. තුවාල ලැබූ සංඛ්‍යාව විසි හයකි. එලෙසම පනස් වෙනි වෙඩි තැබීම සිදුවූයේ පසුගිය විසිනම වැනිදා පානදුර ප්‍රදේශයේදීය.

දවස් දෙක තුනකට වරක් පාතාලයේ වෙඩිල්ලක් කුමන හෝ ප්‍රදේශයක පත්තුවීම දැන් සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. සහමරු “දවසේ වෙඩිල්ල” ලෙසින් එය නම් කර තිබේ. පෙර කිසි කලක පාතාලය මෙතරම් දරුණු ලෙස හිස ඔසවා නොමැත. ඒ අනුව පෙනී යන්නේ වර්තමාන රජය පාතාලය මඩින්න මොන සෙල්ලම් දැම්මත් ඒවා සියල්ලම අසාර්ථක වී ඇති බවයි.

දැනට මාස කිහිපයක සිට කුඩු කිරුළ රැක ගැනීම සඳහා ගල්කිස්ස ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලි දෙකක් ඉවක් බවක් නොමැතිව වෙඩි තබා ගන්නේ රටම භීතියට පත් කරවමින්ය. එම වෙඩි තබා ගැනීම් හමුවේ ඉතා කෙටි කලක් තුළදී පුද්ගලයන් හත් දෙනකු පමණ ජීවිතක්ෂයට පත්විය. තවත් පිරිසකට තුවාල සිදුවිය.

එලෙස ගැටුම් ඇති කරගන්නා මෙම පාතාල කල්ලි දෙකේ එක් පාර්ශ්වයකට ගොත අසංක නායකත්වය දෙන අතර අනෙක් පාර්ශ්වයට කොස් මල්ලී නැමැත්තා නායකත්වය ලබාදෙයි.

රටම කතා කරන මෙම ගල්කිස්ස පාතාල ගැටුම පරයමින් පානදුර නගරය කේන්ද්‍රකර ගනිමින් තවත් පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් පටන් ගෙන තිබේ. ඒ දැනට මාස කිහිපයකට ඉහතදී ඇප අරන් රට පැන්න සලිඳු මල්ෂිත ගුණරත්න නොහොත් කුඩු සලිඳු සහ දැනට ඩුබාහී සැඟවී සිටින නිලංග අතරයි.

පානදුර කුඩු කිරැළ සහ තම බලය රැක ගැනීම සඳහා මෙම පාතාල කල්ලි දෙක අතර ගැටුම පටන් ගෙන තිබේ. එම සිද්ධිය සැකවින් මෙසේය.

සලිඳු සහ නිලංග අධ්‍යාපනය හැදෑරුවේ පානදුර ප්‍රදේශයේ පිහිටා තිබුණු එකම පාසලකයි. එම නිසා ඔවුන් දෙදෙනා පාසල් කාලයේ සිටම මිතුරන් බවට පත් විය. පාසල් ජීවිතයට සමුදුන් පසුත් එම ඇසුර ඔවුන් දිගටම පවත්වාගෙන ගියේය.

පාසල් ජීවිතයෙන් පසු සලිඳු පාතාලයට සම්බන්ධ විය. ඉතාමත් අඩු වයසින් පාතාලයට සම්බන්ධ වූ සළිඳු ලක්ෂිත ගුණරත්න කලක් යද්දී පානදුර සලිඳු නමින් පාතාලය තුළ නමක් ඇතිකර ගත්තේය. ඒ සමගම ඔහු පානදුර ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් පාතාල කණ්ඩායමක් ගොඩනඟා ගත්තේය.

නිලංග ද එම පාතාල කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයකු විය.

එලෙස කල්ගත වෙද්දී බේරුවල ප්‍රදේශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රබල ඇමැතිවරයකු ළඟින්ම ඇසුරු කිරීමට සලිඳුට හැකිවිය. එකල එම ඇමැතිවරයාගේ ඕනෑ එපාකම් ඉටුකළේද සලිඳු විසින්ය. එම ඇමැති ඇසුරත් සමග සලිඳු පාතාලය තුළ තම බලය තව තවත් වැඩි කර ගත්තේය.

පාතාල ක්‍රියාකාරකම්වලට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරමටද ඔහු ඒ වන විට අත ගසා තිබුණි. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීමත් සමග කුඩු සලිඳු යන නම ඔහුට පට බැදුණි.

එලෙස සලිඳු පාතාලය තුළ බලවත්වීමත් සමග ඔහුගේ හොඳම ගෝලයා බවට පත්වූයේ නිලංගයි. කලක් එලෙස ගතවිය. කුඩු සලිඳුගේ අපරාධ වැඩිවීමත් සමග ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලිවලින් මෙන්ම ආරක්ෂක අංශවලින් ද ඔහුට ගැලවීමක් නොතිබිණි. එම නිසා ඔහු ජීවිතය බේරා ගැනීම සඳහා රටින් පැන යෑමට තීරණය කළේය. ඒ තනිව නොව තමා ළඟින්ම ඇසුරු කළ නිලංග සමගින්ය.

කෙලෙස හෝ රට පැන ගැනීමට සිටි සලිඳුට ශාන් අරෝෂ් ජයසිංහ නොහොත් “මතුගම ශාන්” ව මුණ ගැසෙන්නේ ඔය අතරතුරේදීය. සලිඳු තම අවශ්‍යතාවය “මතුගම ශාන්” ට පැවසුවේය. ඒ අනුව “මතුගම ශාන්” රටින් පැන යෑම සඳහා සැලසුමක් සකස් කළේය.

අවසානයේ එම සැලසුමට අනුව මතුගම ශාන්, කුඩු සලිඳු සහ නිලංග ඉතාමත් සූක්ෂම අයුරින් මෙරටින් පැන ගත්තේ ආරක්ෂක අංශවලටත් සිතා ගැනීමට නොහැකි අයුරින්ය. ඔහුන් තිදෙනා එලෙස පලා ගියේ ඩුබායි රාජ්‍ය වෙතයි.

ඩුබායි රාජ්‍ය වෙත පලා ගිය පසු කුඩු සලිඳු සහ නිලංග පෙර නොවූ අයුරින් පාතාල ක්‍රියාකාරකම්වල සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත විය. ඒ සමගම කුඩු සළිඳු හරක් කටා සමගද සමීප සම්බන්ධතාවයක් ඇතිකර ගත්තේය. එවන විට හරක් කටාද රැඳි සිටියේ ඩුබායි රාජ්‍යයේය.

කලක් යද්දී හරක් කටා සහ කුඩු සලිඳු එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන ගියේය. එලෙස කලක් ගත විය. 2023 වර්ෂයේදී හරක් කටා සහ කුඩු සලිඳු ඇතුළු පිරිසක් මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූහ. ඉන්පසු හරක් කටා සහ කුඩු සලිඳුව මෙරට ආරක්ෂක අංශ භාරයට ගත්තේය.

එලෙස අත්අඩංගුවට පත් වූ පසු කුඩු සලිඳුට කලක් බන්ධනාගාරගත වීමට සිදුවිය. ඒ කාලය අතරතුර ඔහුගේ හොඳම මිතුරා වූ නිලංග සමග කුඩු සලිඳු අමනාප විය. එයට ප්‍රධානම හේතු වූයේ වෙනත් පාර්ශ්වයක් විසින් ඔවුන් දෙදෙනා කේලම් කියා කෙටවීමයි.

කුඩු සලිඳු සමග අමනාප වූ නිලංග කංජිපානි ඉම්රාන් සහ කෙහෙල්බද්දර පත්මේ සමග සම්බන්ධතා පවත්වාගෙන ගියේය. ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින නිලංග නමැති අපරාධකරු ඉන්පසු පාතාල කණ්ඩායමක් ගොඩනඟා පානදුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් සිදු කරගෙන ගියේය. එයින් උරණවූ කුඩු සලිඳු රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී පවා නිලංගට අනතුරු ඇඟවුවේය. එහෙත් නිලංග එය සත පහකටවත් ගණන් ගත්තේ නැත. ඔහුද කුඩු සලිඳුට බැණවදිමින් තර්ජනය කළේය.

කලක් තම ගෝලයා ලෙස සිටි නිලංග එලෙස තමාට එරෙහි වීම ගැන කුඩු සලිඳු සිටියේ ඉමහත් වෛරයකිනි. “හිටපන් මම එළියට ආවාහම උඹ ගැන බලා ගන්නම්” අවසානයේ ඔහු එලෙස පැවසුවේය.

වසර ගණනක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි කුඩු සලිඳුට දැනට මාස කිහිපයකට ඉහතදී ඇප ලැබුණි. ඇප ලබාගත් කුඩු සලිඳු එදිනම හොර රහසේ විදෙස් රටකට පැන ගියේය. එලෙස පැනගත් පසු ඔහු තම ප්‍රතිවාදියාවූ නිලංගගෙන් පලි ගැනීමට පටන් ගත්තේය.

එහි පළමු අනතුරු ඇඟවීම ලෙස ඔහුගේ ඥාති සහෝදරයකු වන චතුරංග නැමැති පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කළේය. එහෙත් එම සැලසුම වැරදුණි. එදින චතුරංගට වෙඩි තැබීමට තැත් කළ වෙඩික්කරුවන් අතින් ඝාතනයට ලක් වූයේ අහිංසක පුද්ගලයෙකි.

එම වෙඩි තැබීම සිදුකරන ලද්දේ පානදුර ප්‍රදේශයේ එක්තරා නිවසක පැවැති කොටහළු මංගල්‍යයක් අතරතුරදීය. වෙඩික්කරු චතුරංග ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමට සැරසෙද්දී එය දුටු එම ස්ථානයේ නර්තනයේ යෙදී සිටි තරුණයකු වෙඩික්කරුට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබුණි. එම නිසා වෙඩික්කරු චතුරංග වෙනුවට එම තරුණයාට වෙඩි තබා පලා ගොස් තිබුණි. අවසානයේ එම තරුණයා මියගියේය.

එම වෙඩි තැබීමේ සිද්ධිය ආරංචි වීමත් සමග උරණ වූ නිලංග කුඩු සලිඳුගෙන් එම පළිය ගැනීම සඳහා වෙඩි තැබීමක් සිදු කළේය.

ඒ පසුගිය විසිපස් වැනිදා පස්වරුවේ පානදුර, පින්වත්ත පොලිස්බල ප්‍රදේශයේ මාදුපිටියේ පිහිටි ඇඟලුම් ශාලාවක් අසල නිවසකටයි. එදින එම නිවසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබුණි.

පොලිසිය සඳහන් කළේ මි.මී. 9 වර්ගයේ ගිනි අවියකින් මෙම ප්‍රහාර එල්ල කරන්නට ඇති බවයි. එහෙත් එම වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණේ මිනුවුෂි වර්ගයේ ගිනි අවියකින්ය.

පසුව වෙඩි තැබූ ස්ථානයේ තිබී උණ්ඩ කොපු දහයක් පමණ සොයාගෙන තිබුණි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර පලාගොස් තිබුණි. කෙසේ නමුත් එම වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුටත් තුවාල සිදුවූයේ නැත.

නිලංග එසේ වෙඩි තබා දවස් හතරක් ගතවීමට මත්තෙන් කුඩු සලිඳු යළිත් ඔහුගෙන් පලි ගත්තේය. මෙවර ඔහු නිලංගගේ සමීපතමයකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදු කළේය. ඒ පසුගිය විසිනම වැනිදා පානදුර දකුණ වෑකඩ ප්‍රදේශයේදීය. එදින උදෑසන කාලයේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි. එහිදී ගරාජයක සිටි පුද්ගලයකුට වෙඩි වැදී තිබුණි.

එම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය මෙලෙස පවසා තිබුණි.

“වෑකඩ ප්‍රදේශයේ ත්‍රීරෝද රථ අමතර කොටස් විකිණීම සහ අලුත්වැඩියා සිදු කරන ස්ථානයක හිමිකරුට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.”

“සිද්ධියට අදාළ සී.සී.ටී.වී. දර්ශනවලින් දැකගත හැකි වන්නේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනාගෙන් අයකු විසින් වෙඩි තැබීම සිදු කරන ආකාරයයි.”

“වෙඩි ප්‍රහාරයෙන් සුළු තුවාල ලැබූ අදාළ පුද්ගලයා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කළා. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා විදේශතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන නිලංග නමැත්තාගේ සමීපතමයෙක්”

“පසුගිය දිනවලදී නිලංග සහ පානදුරේ කුඩු සලිඳු යන පාර්ශ්වයන් අතර මාලමුල්ල හා මාදුපිටිය යන ප්‍රදේශවලදී එකිනෙකා අතර වෙඩි තබාගැනීම් කරගෙන තිබෙනවා. මෙම වෙඩි තැබීමත් එයට සම්බන්ධයි.”

පොලිසිය එසේ පවසද්දී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැතිවූ පාතාල නායකයෙක් සඳහන් කළේ මෙම ගැටුම මෙතනින් අවසන් නොවන බවත් ගල්කිස්ස පාතාල ගැටුම මෙන් දිගින් දිගටම ඇදී යන බවත්ය. එලෙසම “මතුගම ශාන්” මෙම ගැටුම සමථයකට පත්කරලීම සඳහා දැඩි උත්සහයක නිරත වන බවත් ඔහු පැවසීය.

ගයාන් සමරසිංහ
[email protected]

- Advertisement -
Share This Article