විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි තරමට දැඩි කොන්දේ අමාරුවකින් පෙළෙන බවට නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක ලිපි ශීර්ෂයක් යටතේ අධිකරණයට අසත්‍ය වාර්තාවක් ඉදිරිපත් කළේ යැයි චෝදනා එල්ල වී ඇති ආර්. පී. කේ. චන්දන නමැති වෛද්‍යවරයා සම්බන්ධයෙන් ගනු ලබන විනය පියවර කුමක් දැයි තම අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (23දා) ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කළාය.
මහාධිකරණය විසින් කරන ලද නියෝගය ප්‍රකාරව හා එකී පෞද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂවරයා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් අනුව එකී වෛiවරයා සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කොට ඇති බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකා වෛi සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදාරි රණතුංග මහත්මිය කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරිය එකී විමර්ශනවලින් අනතුරුව ගනු ලබන විනය පියවර කුමක් දැයි වාර්තා කරන ලෙසට නියෝග කළාය.
සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කොට වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස. හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු හා ස.තො.ස. හිටපු ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ කාජා මොහිදින් සාකිර් සහ විත්තිකරුවන් තිදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ වැඩිදුර සාක්‍ෂි විභාගය ජූලි 30 වැනිදා දක්වා කල්තැබීමට ද විනිසුරුවරිය නියෝග කළාය. පැමිණිල්ලේ සාක්‍ෂිකරු ලෙස නම් කොට තිබූ විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරි ලෙස කටයුතු කළ ඒ. එම්. විජේරත්න මහතාගෙන් විත්තියේ නීතිඥවරු ඊයේ (23දා) හරස් ප්‍රශ්න ඇසූහ. ලබන ජූලි 30 වැනිදා පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා පෙනී සිටින ලෙස දන්වා ස.තො.ස. ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානී නිලුෂි සංජීවනි මහත්මියට නොතිසි යැවීමට ද නියෝග කළ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ලබන අගෝස්තු 16 වැනිදා සිට අගෝස්තු 23 වැනිදා දක්වා කාලය සඳහා දෙවන විත්තිකරුට විදේශ ගතවීමට ද අවසර ලබාදුන්නාය. ව්‍යාපාරික කටයුත්තක් සඳහා විදේශ ගතවීමට අවසර ලබාදෙන ලෙසත් අධිකරණය විසින් පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරනා ලෙසත් දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරිය එම නියෝග කළාය. අධිකරණය භාරයේ ඇති තුන්වන විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව ඔහු වෙත භාරදෙන ලෙසට ද විනිසුරුවරිය නියෝග කළාය.
ඒ. ජේ. ඒ. අබේනායක