හිටපු ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් හතළිස් තුන්දෙනකුගෙන් හිග නිල නිවාස කුලී මුදල් වශයෙන් රුපියල් විසිහත්ලක්ෂ හැත්තෑදෙදහස් හැත්තෑ නවයයි ශත හැත්තෑනවයක මුදලක් මෙම වර්ෂයේ මැයි මස 31 වැනිදා වන විට අයවීමට තිබූ බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
ලියුම්කරු විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරනු ලැබූ ඉල්ලීමට අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි ජී.එච්. රූබසිංහ මහතාගේ අත්සනින් නිකුත්කොට ඇති පිළිතුරු ලිපියේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
මෙසේ හිඟ නිල නිවාස කුලී මුදල් ගෙවා නොමැති හතලිස්තුන් දෙනා අතුරින් තිස්අටදෙනෙකුම හිටපු ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරු වෙති. මින් වැඩිම පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් වන අතර එජාපය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කළ ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු ද ඒ අතර වෙති. හිටපු මන්ත්‍රීවරු පස්දෙනෙකු ද හිඟ නිල නිවාස කුලී ගෙවා නොමැති අතර දිවංගත හිටපු ඇමැතිවරයකුගෙන් අයවීමට ඇති හිඟ නිවාස කුලී මුදල රුපියල් දෙලක්ෂ තිස්දෙදහස් තුන්සිය හැත්තැපහකි.
දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන හිටපු ඇමැතිවරු හතර දෙනෙකුගෙන් ද හිඟ නිවාස කුලී මුදල් අයවීමට ඇති අතර මින් දෙදෙනකු සමගි ජන බලවේගය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරු වෙති. අනික් හිටපු ඇමැතිවරු දෙදෙනා ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරු වෙති.
ලලිත් චාමින්ද