කින්නියා පාලම
ත්‍රිකුණාමලයේ “මාබල් බීච්” දක්වා ගිය අපගේ “සංචාරේ” කණ්ඩායම අනතුරුව කින්නියා-මුතූර්-තෝපූර් ඔස්සේ සාම්පූර් ප්‍රදේශයට ගියෙමු. තනිකරම වෙරළබඩ ප්‍රදේශයක් වන මෙම සම්පූර්ණ ප්‍රදේශය ත්‍රිකුණාමලය ස්වභාවික වරාය වටා පිහිටි ප්‍රදේශ වේ. මෙනිසාම මෙහි සිටින බොහෝ දෙනකු ධීවර කාර්මිකයින්ය. මේ සමස්ත වෙරළබඩ කලාපය පුරා ඇත්තේ ඔරු, තෙප්පම්, බෝට්ටු සහ බහුදින ධීවර යාත්‍රා ය. ඇතැම්විට මෙම ප්‍රදේශයේ මා-දැල් අදින අයුරු ද දැකගත හැකිය. ඈතින් ත්‍රිකුණාමලය වරායේ යාත්‍රා අංගන සහ නැව් ද නවතා තබා ඇති අයුරු දිස් වේ. එමෙන්ම, “ප්‍රීමා” තිරිඟු පිටි කම්හල සහ “ටෝක්යෝ” සිමෙන්ති කම්හල ද මෙම ප්‍රදේශවලට ඉතා හොඳින් දර්ශනය වේ. එමෙන්ම, චීන වරාය ද ඇත්තේ මේ පසට මුහුණලා ය.
ඈතින් “සාම්පූර්” ප්‍රදීපාගාරය දිස්වන අතර, ත්‍රිකුණාමල වරායේ මුහුද මැද කුඩා, එහෙත් අලංකාර දූපත් කිහිපයක් අතර ප්‍රදීපාගාරයක් පිහිටි දූපතක් ද දැකගන්නට හැකිය. කොටින්ම, මාබල් බීච් වෙරළ තීරයේදී සාම්පූර් සහ පෙර මා කිවූ දූපත් ප්‍රදීපාගාරය එකිනෙකට සමපාත කර හෝ දැකගැනීමේ ඉතා වටිනා අවස්ථාවක් අපට හිමි වේ. මෙවන් සොඳුරු දසුන් දකිමින් හා මහවැලි ගංගාවේ අතු බෙදී ගිය දියදහරා මතින් තැනී ඇති පාලම් මතින් ගමන් කරමින් අපි ඇති තරම් නැඟෙනහිර වෙරළේ සෞන්දර්යය අත්විඳි අතර, අනතුරුව මුතූර් නගරය වෙත පැමිණියෙමු. මෙහිදී මුතූර් නගරයේ පිහිටි වැදගත් පුරාවස්තුවක් දැකගන්නට යන්නට ද අපි අමතක නොකළෙමු. ඒ “වන සත්ත්ව සහ තුරුලතා ආරක්ෂා කිරීමේ ආඥාපනත මගින් ආරක්ෂිත ශාකයක් ලෙස නම්කර ඇති ‘නොක්ස්ගේ සියඹලා ගස’ බලන්නට යාමයි. මුතූර් නගරයේ පාසල ආසන්නයේ පිහිටි මෙම සියඹලා ගස ආරක්ෂිත වැටකින් වටකොට ඇත.

එසේම, වනජීවී ආඥාපනත මගින් සංරක්ෂණය කෙරේ. නමුත් මෙහි දැන් ඇත්තේ පෙර හැඳින්වූ නොක්ස් ගේ සියඹලා ගසම ද යන්න ප්‍රශ්නයක් තිබේ. මන්ද වර්ෂ එක්දහස් හත්සිය අනූහයේ ඉංග්‍රීසීන් මෙරටට පැමිණෙන්නටත් පෙර උඩරට දෙවැනි රාජසිංහ රාජ සමයේ සිංහල හේවායන්ගේ අත්අඩංගුවට පත්වන බි්‍රතාන්‍ය ජාතික “රොබට් නොක්ස්” අත්අඩංගුවට පත්වන්නේ මෙම සියඹලා ගස යටදී බව කියනු ලැබේ. එබැවින් ඉංග්‍රීසි පාලන සමයේ මෙසේ මෙම ගස ආරක්ෂා කර, ගස වටා වැටක් බැඳ අනාගත සුරක්ෂිතතාව සලසා ඇත. නමුත්, දැන් එහි පවතින සියඹලා ගසත්, පැරණි ඡායාරූපවල දැක්වෙන සියඹලා ගසත් අතර වෙනසක් පවතින බැවින් වත්මන් සියඹලා ගස පැරණි ගසේ නව පරම්පරාවක ගසක් බව සිතිය හැක.
දීර්ඝ කාලයක් අප රටේ නිදහස් සිරකරුවකුව සිට ලන්දේසි සමයේ උපායශීලීව යළිත් තම මව් රට වූ එංගලන්තයට පලා ගොස්, ශ්‍රී ලංකාව සහ මෙහි ජන දිවිය ගැන ග්‍රන්ථ කිහිපයක් රචනා කළ “රොබට් නොක්ස්” තම පියා ඇතුළු නාවික කාර්ය මණ්ඩලයක් සමග අත්අඩංගුවට පත්වන්නේ ඔවුන් ගමන් ගත් රුවල් නැවේ කුඹ ගස කුණාටුවකට හසුව කැඩී යෑම නිසා අලුත් කුඹ ගහක් කපන්නට මුතූර් වෙරළට ගොඩ බැස සිටින විට බව කියනු ලැබේ. අනතුරුව එංගලන්තයට පැන යන මෙම තනි සිරකරුවා “එදා හෙළ දිව” වැනි ග්‍රන්ථ රචනා කර සිරිලකට ගෞරවයක් ගෙන දුන් චරිතයකි. එබැවින් ඔහුගේ “ස්මාරකය” අපි හොඳින් ආරක්ෂා කළ යුතු අතර, ඊට ගරු කළ යුතු ද වෙමු.


මේ නිසා මුතූර් ගිය අපි ද එවැනි වටිනා තැන් බලන්නට මෙන්ම, ඒ ගැන රටට කියන්නට ද අමතක නොකළෙමු. අනතුරුව අපි තෝපූර් ප්‍රදේශය ඔස්සේ ඇදුණේ “සාම්පූර්” ප්‍රදේශය වෙත ය. සාම්පූර් යනු කලක් මෙරට ඉතා ප්‍රකට ප්‍රදේශයකි. එනම්, උතුරු-නැගෙනහිර එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් ක්‍රියාත්මකව සිටින කල සාම්පූර් තිබුණේ මෙම සටන්කාමීන්ට යටත් ප්‍රදේශයක් ලෙසය. මෙහි ප්‍රධාන ත්‍රස්ත නාවික කඳවුරු පිහිටා තිබුණු අතර, අවසන් ඊළාම් යුද්ධය ආරම්භ කරමින් මෙහි සිට ත්‍රිකුණාමලය දෙසට කාලතුවක්කු සහ මෝටාර් ප්‍රහාර එල්ල කරන්නට ද ඔවුහු කටයුතු කළහ. තනිකරම මුහුදු පටියක් සේ දිවෙන “සාම්පූර්” ත්‍රිකුණාමලය වරාය ඇතුළත් බොක්කේ පහළ කෙළවර ලෙස හැඳින්වීම නිවැරදිය. මෙහි පැරණි සුවිසල් ප්‍රදීපාගාරයක් පිහිටා ඇත. ඒ සාම්පූර් ප්‍රදීපාගාරයයි. කොටි බලකොටුවක්ව පැවති මෙම ප්‍රදීපාගාරය අවට ප්‍රදේශය බලවත් සටනකින් පසු ආරක්ෂක හමුදාව මගින් මුදාගන්නා ලදී.
මෙහි දැක්වෙන්නේ එම සාම්පූර් ප්‍රදීපාගාරයයි. යුද්ධය අවසන් වූ පසු 2011 වසරේදී මෙම සාම්පූර් ප්‍රදේශය, සාම්පූර් ප්‍රදීපාගාරය, කින්නියා පාලම, ත්‍රිකුණාමලය පැරණි තෙල් ටැංකි සංකීර්ණය, වරාය, කෝනේශ්වරම් කඳුවැටිය යනාදිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක ගමන් කරමින් විඳින්නටද, රූගත කරන්නට ද අපට අවස්ථාව උදා විය. එම ඡායාරූප ද අද මෙහි ඇතුළත් කර ඇත. එසේම, සාම්පූර් ප්‍රදීපාගාරය යම් දුරක් තරණය කරන්නට ද හැකිවූ නමුත්, එහි තරප්පු පෙළ දිරාගොස් තිබුණු බැවින් එය අත්හැර දමන්නට අපට සිදු විය.

මෙවන් අත්දැකීම් විඳිමින් නැඟෙනහිර වෙරළේ මේ අපූරු පරිසරය විඳින්නට අපට හැකි වූයේ කලකට පසු මව් අසිරිමත් වෙරළේ කළ සංචාරය හේතුවෙනි. මෙම මාර්ගයේම පැමිණ මුහුදු ඉම දිගේ වෙරුගල්-වාකරේ දක්වා පැමිණිය හැකිය. එහිදී අපට වැදගත් බෞද්ධ සිද්ධස්ථාන දෙකක් මුණ ගැසේ. එකක් බෞද්ධයින්ගේ උතුම් මුදුන් මල්කඩක් වන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සිරිලකට වැඩමවන ලද ස්ථානය මෙහි පිහිටා ඇත. අද “ලංකා පටුන” ලෙස වන්දනා මාන කරනු ලබන්නේ එම පිං බිමයි. හේමමාලා-දන්ත කුමරු විසින් දළදාව වැඩමවාගෙන පළමුව පැමිණ ඇත්තේ මෙම ස්ථානයට බව කියයි. එම පබ්බත විහාරය මෙන්ම, කලක් කොටි හඬ නම් රේඩියෝ නාලිකාව ක්‍රියාත්මක කළ කඳු ගැටය සහිත පැරණි බෞද්ධ විහාරය ඇත්තේ ද මෙම මුහුදු තීරයේ මදක් ගොඩබිමට වන්නටය. ඒ පාෂාණ පබ්බත විහාරයයි. දන්නා තරමින් සේරුවාවිල රජ මහා විහාර පාර්ශ්වයට ගැනෙන මෙම විහාර දෙක වර්තමානයේ සුරැකිව පැවතියත්, කොටි පාලන යුගයේ කොටි අඩවිය තුළ පිහිටි විහාර දෙකක් වේ. නැඟෙනහිර මුදාගැනීමේ සටනේදී මෙම ස්ථාන දෙක මුදාගෙන යළිත් විහාර ගොඩනගන්නට රණවිරුවෝ සමත් වූහ.

මෙසේ නැඟෙනහිර වැදගත් චාරිකාවක නිරත වූ අපි ත්‍රිකුණාමලය බොක්කට (කොට්ටියාර් බොක්ක) පහළින් පිහිටි පුළුල් ප්‍රදේශයක සංචාරය කරමින් ලැබූ අත්දැකීම මෙන්ම, අසිරිය අතිශය මිහිරි වූවකි. ඉතා කලාතුරකින් නෙත ගැටෙන දර්ශන තල, දුලබ දර්ශන යනාදිය පමණක් නොව, ඉතා දිළිඳු සහ දුෂ්කර දිවියක් ගෙවන ජනයාගෙන් සමන්විත ගම්මාන ඇසුරේ, එම දරුවන් ඇසුරේ ලද ජීවන අත්දැකීම ද අපට මහත් පාඩමක් කියා දුන්නේය. එබැවින් සංචාරයට කැමති ඇයට මෙම පරිසරයේ ඇවිද ගොස් ඔවුන්ගේ ජන ජීවිතය ගැන ද කරුණු කාරණා කතා කරන ලෙස ඉල්ලා සිටින්නට කැමතිය.
මෙසේ නැඟෙනහිර චාරිකාවට එක්වූ අපි ලංකා පටුන, පාෂාණ පබ්බත විහාරය සහ සේරුවාවිල විහාරය ගැන තවදුරටත් කතා කරන්නට පසුවට ඉඩ තබා මෙසේ සාම්පූර් චාරිකාව සේරුනුවරින් අවසන් කර, කන්තලේ ඔස්සේ නැවත අගනුවර බලා ඇදුණේ, පෙරදා අප ත්‍රිකුණාමලය බලා යන අතර සිසිල් පහස විඳි කන්තලේ වැව් බැම්ම මත ආපසු ගමනේදී ද මදක් ගිමන් හරිමිනි.

සැරිසර – ජගත් කණහැරආරච්චි
ඡායාරූප – වාසල සේනාරත්න
Heritage Lanka Creations / FB – Travel Sri Lanka – සංචාරේ