ෆෝඩෝ බලාගාරයට පමණක් ‘බංකර්’ බස්ටර් 6ක්
ට්‍රම්ප් ව්‍යවස්ථාව සහ යුද බලතල කඩ කළා:
දෝෂාභියෝගයකට හේතුවක් -කොංග්‍රස් මන්ත්‍රී කියයි
ඇමෙරිකාවේ සාපරාධී හැසිරීම අපි අවසන් කරනවා – ඉරානය
ඇමෙරිකානු ප්‍රහාරවලින් පසු ඉරානයෙන් ඊශ්‍රායල ගුවන්තොටටත් මිසයිල
රටවල් රැසක් ඇමෙරිකානු ප්‍රහාරය හෙළාදකී
ඉරානයේ ෆෝඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් යන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
“ෆෝර්ඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට එල්ල කළ අපගේ ඉතා සාර්ථක ප්‍රහාරය අවසන් කර තිබෙනවා. දැන් සියලුම ගුවන් යානා ඉරාන ගුවන් සීමාවෙන් පිටත තියෙන්නේ” යනුවෙන් ඔහු සිය ට්රුත් සෝෂල් සමාජ මාධ්‍යයේ සටහන් කරමින් අනාවරණය කර තිබිණි.
ෆෝඩෝ වෙත රැගෙන ගිය ‘සම්පූර්ණ බෝම්බ ප්‍රමාණය’ හෙළන ලද බවත්, සියලුම ගුවන් යානා එක්සත් ජනපදයට ආපසු ළඟා වෙමින් ඇති බවත් ට්‍රම්ප් එහිදී වැඩිදුරත් සඳහන් කර තිබිණි.
සෙනසුරාදා රාත්‍රියේ ජාතිය අමතමින් ඇමෙරිකානු ජනපතිවරයා “ඉරානය දැන් සාමය ඇති කර ගත යුතුයි. ඔවුන් එසේ නොකළහොත් ඉදිරි ප්‍රහාර බොහෝ විශාල විය හැකි වගේම බොහෝම පහසු වෙන්න පුළුවන්. අද රාත්‍රියේ මට ලෝකයට කියන්න පුළුවන් මේ ප්‍රහාර විශ්මයජනක හමුදාමය සාර්ථකත්වයක් ලද බව. ඇත්තෙන්ම ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික බලගැන්වීමේ මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ කර ඉවරයි. මතක තබා ගන්න, තවත් ඉලක්ක බොහොමයක් ඉතිරිව තිබෙනවා” යනුවෙන් පවසා තිබිණි.
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට සෙනසුරාදා එල්ල කළ ප්‍රහාරවලදී බී – 2 ස්ටෙල්ත් බෝම්බ හෙළන යානා භාවිත කළ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කළේය. බෝම්බ හෙළන යානා GBU-57 දැවැන්ත යුධෝපකරණ විනිවිදකය යොදවා ඇති අතර එය සාමාන්‍යයෙන් ‘බංකර් බස්ටර්’ ලෙස හැඳින්වේ. බෝම්බය සාම්ප්‍රදායික යුද හිසක් රැගෙන යන අතර පුපුරා යෑමට පෙර මතුපිට සිට අඩි 200 ක් (මීටර් 61ක්) පමණ ගැඹුරට විනිවිද යෑමට හැකි බව විශ්වාස කෙරේ. මේ එක බෝම්බයක් කිලෝ 13000ක් බරැති වේ. එසේම ඉරානයට කිලෝමීටර් 400ක් ඈත සිට ඇමෙරිකානු සබ්මැරීන මගින් ටෝමහොර්ක් මිසයිල ප්‍රහාරයක් ද ඉරාන ඉලක්ක වෙත එල්ල කර තිබේ.
‘බංකර් බස්ටර්’ බෝම්බ හයක් ෆෝර්ඩෝ බලාගාරය මත හෙළා තිබේ. 1979 ඉරාන විප්ලවයෙන් පසු ඇමෙරිකාව ඉරානය තුළ ඇති ඉලක්ක වෙත පහර දුන් පළමු අවස්ථාව මෙයයි.
මේ අතර ඇමෙරිකානු ප්‍රහාරවලින් අනතුරුව ඉරානය ඊශ්‍රායලය වෙත එල්ල කරන ප්‍රහාරවලින් සියයකට වඩා වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. ඊශ්‍රායල බෙන් ගුරියන් ගුවන්තොටුපළට ද මිසයිල ප්‍රහාර එල්ල වී ඇත. ඉරානය කිලෝ 1500ක් බරතී කොරෝම්ෂා නමැති මිසයිලයෙන් ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කර තිබේ.
පාකිස්තානය කියුබාව, චිලී රාජ්‍යය, වෙනිසියුලාව, කොලොම්බියාව, මෙක්සිකෝව ඇතුළු රටවල් කිහිපයක් විසින් ඇමෙරිකාව ඉරානයට සිදු කළ මෙම ප්‍රහාරය හෙළා දැක ඇත. එමෙන්ම ඇමෙරිකාවේ ඇතැම් ඩිමොක්‍රටික් නීති සම්පාදකයන් ද මෙම ප්‍රහාරය හෙළා දැක ඇති අතර ඔවුන් චෝදනා කර ඇත්තේ ඇමෙරිකානු ජනාධිපතිවරයා කොංග්‍රස් අනුමැතියකින් තොරව මෙම ප්‍රහාර සිදු කර ඇති බවයි. කොංග්‍රස් සභික ඇලෙක්සැන්ඩි්‍රයා ඔකාසියෝ පවසා ඇත්තේ මෙය ඇමෙරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ කොංග්‍රස් යුද බලතල බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන බවත් දෝෂාභියෝගයකට සම්පූර්ණයෙන්ම සහ පැහැදිලි හේතුවක් වන බවත්ය. ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි කියා සිටියේ ඇමෙරිකානු ප්‍රහාර ‘කෝපාවිෂ්ඨ’ ක්‍රියාවක් ලෙස හෙළා දකින බවය. “තම රටේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම සඳහා සියලු විකල්ප” ගැන ඉරානය සලකා බලන බව ඔහු සඳහන් කර තිබේ.
“අද උදෑසන සිදුවීම් අතිශය පිළිකුල් සහගතයි. මේක සදාකාලිකවම ප්‍රතිවිපාක ඇති කරනු ඇති. එක්සත් ජාතීන්ගේ සෑම සාමාජිකයකුම මෙම අතිශය භයානක නීති විරෝධී සහ සාපරාධී හැසිරීම ගැන කනස්සල්ලට පත්විය යුතුය” යනුවෙන් ඔහු එක්ස් හි සටහනක් තබමින් අවධාරණය කර තිබේ.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව ඉරාන විදේශ ඇමැතිවරයා අවධාරණය කර තිබේ.
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ඇමෙරිකානු ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු මැදපෙරදිග සෑම ඇමෙරිකානු පුරවැසියකුම හෝ හමුදා නිලධාරියකුම දැන් ටෙහෙරානයේ ඉලක්කයට ලක්ව ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඉරිදා අනතුරු අඟවා තිබිණි. ඉරාන රාජ්‍ය රූපවාහිනියේ නිවේදිකාවක පවසා තිබුණේ “ඉරානයේ ගුවන් සීමාව උල්ලංඝනය කර ප්‍රහාර එල්ල කිරීමෙන් ඇමෙරිකාව ඉරානයට එරෙහිව අපරාධයක් කර ඇත. ඇමෙරිකානු ජනාධිපතිතුමනි, ඔබ එය ආරම්භ කළ අතර අපි එය අවසන් කරන්නෙමු” යනුවෙන් ඇය පවසා තිබිණි.
චතුර පමුණුව