ත්‍රීකුණාමලයේ අසිරිය ගුවනින් විඳි දවසක්…

788 Views

මේ දවස්වල අපගේ සංචාරය සිදුකෙරෙන්නේ ත්‍රිකුණාමලය හා අවට ප්‍රදේශයේය. ඒ පිළිබඳ බොහෝ තතු දැනටමත් අප කතා කර ඇත. ත්‍රිකුණාමලයට පහළින්, වරාය වටා පිහිටි සංචාරකයින් එතරම් ගමන් නොකරන මුතූර්, තෝපූර්, සාම්පූර් ප්‍රදේශවල ද අපි සංචාරය කර තොරතුරු කතා කළෙමු. එපමණක් නොව, ත්‍රිකුණාමලය වරාය මධ්‍යයේ පිහිටි කුඩා සෝබෝර් දූපත, මහා සෝබෝර් දූපත, ලයිට් හවුස් දූපත අපි නැරඹුවේ වරාය මධ්‍යයේ දියඹට බැස නාවික යාත්‍රාවක ගමන් කරමිනි. එසේම, එම නාවික යාත්‍රාවෙන්ම වරාය කටෙන් මුහුදට ගොස්, කෝනේශ්වරම් වෙත පැමිණ, තවත් ගමන් කරමින් ත්‍රිකුණාමලයට කිලෝමීටර් 6 ක් පමණ දුරින් (උතුරින්) පිහිටි නිලාවැලි වෙරළ සහ එතැනින් ඔබ්බට මුහුද මැද පිහිටි පරෙවි දූපත (පිජන් අයිලන්ඩ්) බලන්නට ද ගිය කතාව පසුගිය සතියේ ඔබට කීවෙමු.

සැබැවින්ම මේ සියල්ලකින්ම ත්‍රිකුණාමලයේ ලබන ආශ්වාදය මෙතෙකැයි කියා කිව නොහැකිය. මේ අතර අප නොකිව් කතාද ඇත. එනම්, ත්‍රිකුණාමලය උද්‍යානයේ මධ්‍යම රාත්‍රීය පහන් වන තුරුම ගත කළ ඒ සොඳුරු අවස්ථාව, ත්‍රිකුණාමලය පේද්‍රික් කොටුව තුළට ගොස් ගෝකන්න විහාරය වැඳ පුදාගැනීම, කොටුවේ පැරණි ලන්දේසි ගොඩනැගිලි දැක බලාගැනීම, කෝනේශ්වරම් දෙවොලට ගොස් කළ පුද පූජා, ප්‍රකට “ලවර්ස් ලීප්” බෑවුමෙන් මුහුදට එබී බලා එහි චමත්කාරය සනිටුහන් කරගැනීම, නිලාවැලි පැරණි යුද සොහොන නිරීක්ෂණය යනාදී කටයුතු රැසකට අපි සහභාගී වුවත් මේ සියල්ලක් ඡායාරූප සමග කතා කරන්නට අපට ඉඩකඩ සීමිතය.

එනමුත්, පෙර කී පරිදි ත්‍රිකුණාමලයේ සංචාරය කොතෙක් කළත් හිතට මදි තරමට මේ සුන්දර සහ සංකීර්ණ පරිසරය අපේ හිතට වැදුණු බැවින් ත්‍රිකුණාමලය වරාය සහ ආශ්‍රිත ප්‍රදේශය “කුරුළු නෙතින්- Arial view” දකින්නට ඇත්නම් යන කලක පටන් යටි හිත පතුලේ සැඟවුණු නොතිත් ආශාවක් ද ලියුම්කරු තුළ පැවතියේය. මේ ආශාව මුදුන් පමුණුවාගන්නට අවස්ථා ගණනාවකම උත්සාහ ගත්ත ද එය ඉටු වූයේ නැත. නමුත්, නොපසුබට උත්සාහය නිසා ඇතැම් දේ සාක්ෂාත් කරගන්නට අපට අවස්ථා උදාවිය හැකිය. ඒ අනුව ගුවනින් ගොස් ත්‍රිකුණාමලය වරාය, තෙල් ටැංකි සංකීර්ණය, සාම්පූර් ප්‍රදේශය සහ එම පැරණි ප්‍රදීපාගාරය, නව කින්නියා පාලම, කෝනේශ්වරම් කඳු වැටිය සහ එම දේවාලය සහිත පුදබිම, ත්‍රිකුණාමලය ෆෙඩ්‍රික් කොටුව, වෙරළ උද්‍යානය, නගරය, දුම්රිය නැවතුම්පළ, ප්‍රීමා පිටි කම්හල, සිමෙන්ති සංස්ථා පර්යන්තය චීන වරාය, ත්‍රිකුණාමල (චීන වරාය) ගුවන් පථය යන ස්ථාන ඉතා පැහැදිලිව රූ ගත කරගත හැකි පරිදි අපූරු ගුවන් චාරිකාවක් ලබාගන්නට අපගේ “සංචාරේ” කණ්ඩායමට අවස්ථාවක් උද විය. ඒ මීට වසර 10 කට පමණ පෙර බවද සිහිපත් කළ යුතු අතර, එම දුලබ අවස්ථාව අපට ලබාදුන්නේ අපගේ ලිඛිත ඉල්ලීම පිට සහ විශේෂ අවසරයක් පරිදි ආරක්ෂක අමාත්‍යාංශය මගින් බවද මෙහිදී සිහිපත් කළ යුතුය.

තෙල් ටැංකි සංකීර්ණය

වෙනත් රාජකාරි කටයුත්තක් සඳහා ත්‍රිකුණාමලය ගුවන් කඳවුරට ගිය හෙලිකොප්ටර් යානයකින් මෙසේ අපට විනාඩි 15 කටත් වඩා අඩු කාලයක් ලබාදී අදාළ රූගත කිරීම කරගන්නට අවස්ථාව උදාකර දුන් අතර, මේ නිසාම කාලයක සිට හිතේ පැලපදියම්ව තිබුණු හෙලිකොප්ටරයක ගමන පමණක් නොව, උඩින් ගිහින් පහළ සුන්දරත්වය නැරඹීමත්, ත්‍රිකුණාමලයේ අසිරිය ගුවනින් විඳින්නට ලැබුණු අවස්ථාවත් කිසිදා අමතක නොවන්නකි. අප වෙනුවෙන්ම නොව, වෙනත් වැදගත් රාජකාරියක් සඳහා ගිය මෙම යානයෙන් අපගේ කටයුතු ඉෂ්ට කරගන්නට අවස්ථාව ලබාදීම ගැන අදත් අපි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ එවක ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන්ට ස්තුතිය පුද දෙන්නට වුවමනාය.

මේ සංචාරයේදී අපගේ “සංචාරේ” ගමන් සගයන් සියල්ලම විසින් ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගෙන උපරිම ඡායාරූප ප්‍රමාණයක් “නෙළා ගන්නා” ලදී. අද මෙම පිටුව හැඩවන්නේ එම ඡායාරූප කිහිපයකිනි. ත්‍රිකුණාමලයේ ගමන නිමා කරන්නට මත්තෙන් එවන් මතකයක් යළි අවදිකරන්නට මෙන්ම, මෙවන් ඡායාරූප එකතුවක් අප ළඟ සුරක්ෂිතව තිබේ යන්න කියන්නටත්, මේ අපූරු අත්දැකීමේ රස ඔබ වෙත ද ගෙන එන්නටත් මෙසේ එම ඡායාරූප ගොන්නකින් අද “සංචාරේ” පිටුව හැඩකරන අතර, “සංචාරේ” අප කළ තවත් එක “ක්‍රියාදාම සංචාරයක්” මේ බව කියන්නට ද අද අපගේ අරමුණ විය. සැබැවින්ම මෙම ගුවන් සංචාරයෙන් අප ලද වින්දනය ද අපමණය. එසේම, මෙම චාරිකාව සඳහා සූදානම්ව දින දෙක-තුනක්ම ත්‍රිකුණාමලයේ අපේක්ෂා දල්වාගෙන බලාසිටින්නට අපට සිදු වූයේ එකල පැවැති ආරක්ෂක තත්ත්වය මතය. එම කාලය පෙරකී පරිදි කෝනේශ්වරම් සහ ත්‍රිකුණාමලය කොටුව ආශ්‍රිත ගවේෂණයට අප යොදාගන්නා ලදී.

පෙරදා ගොඩබිම සිට සහ මුහුදේ දුටු තනි දර්ශන තලය සහ ලබාගත් බිම් මට්ටමේ ඡායාරූප වෙනුවට, මෙම ගුවන් චාරිකාවේදී එම දර්ශනම අඩි හත්-අට දහසක් උඩ සිට නැරඹීමට සහ ඡායාරූප ගතකරන්නට ලැබීම ඉතා නැවුම් සහ කදිම අත්දැකීමක් විය. නොහොත් ඒ තනිකරම ත්‍රිමාණ ඡායාරූප ගතකිරීමක් විය. අප අපේක්ෂා නොකළත් බ්‍රිතාන්‍ය පාලන සමයේදී සාදන ලද දැවැන්ත තෙල් ටැංකි සංකීර්ණය ඇතුළු තවත් වැදගත් ස්ථාන සමූහයක් ද මේ ගමනේදී අපි ඉතා හොඳින් අත්වින්දෙමු.

එසේ අත්දැකීම් ලද ගුවන් චාරිකාවක් අප නිමාකරන ලද්දේ “ප්ලාන්ටන් පොයින්ට්” නමැති ස්ථානයේ පිහිටි ආරක්ෂිත ස්ථානයකට යානය ගොඩ බැස්වීමෙන් අනතුරුව ය. හෙලිකොප්ටරයක ගොස්, ගමන් මලු අතින්-කටින් එල්ලාගෙන පාගමනින් ත්‍රිකුණාමල නගරයට පැමිණි ඒ සුන්දර මතකය මෙනෙහි කරමින් ත්‍රිකුණාමලයෙන් සමුගන්නට මත්තෙන් මෙවන් අසිරිමත් අත්දැකීමක් නැවත ස්මරණය කරන ලද්දේ ලියුම්කරුගේ මාධ්‍ය ජීවිතයට වසර 33 ක් සපිරීම ද අදටම යෙදී ඇති නිසා ය. එනම් සුන්දර විශේෂාංගයකින් එය සමරනු සඳහා ය.

මෙවන් අපූරු පාරිසරික කලාපයකින් අදට අප සමුගන්නා අතර, ඉදිරියේදී තවත් අපූරු සංචාරක නවාතැනක සිට හමුවන්නට කටයුතු සංවිධානය කරමින් සිටින බවද සංචාරයට ලැදි පාඨක ඔබට සිහිපත් කරනු කැමැත්තෙමි.

සාම්පූර්

ජගත් කණහැරආරච්චි
ඡායාරූප – වාසල සේනාරත්න සහ Heritage Lanka Creations/
FB – Travel Sri Lanka – සංචාරේ

- Advertisement -
Share This Article