ආසියානු රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරුණු ආසියානු ශූරතා පිරිමි රග්බි පාපන්දු තරගාවලියට හා ලෝක කුසලාන රග්බි පාපන්දු තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ වටයට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට තෙවන පරාජයේ අමිහිර අත්විඳින්නට ඉකුත් සිකුරාදා (04දා) සිදු විය. ඒ, ප්‍රතිවාදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය හමුවේදී ය.
මෙවර තරගාවලියේ 05 වැනි තරගය ලෙස එය කොළඹ රීඩ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරඟ පිටියේ ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 29 – 21 ක් ලෙස ජයග්‍රහණය සනාථ කර ගත්තේය. තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ලකුණු තත්ත්වය සටහන් වූයේ 22 – 16 ක් ලෙසිනි.
ප්‍රථම භාගයේ දී මෙන්ම දෙවන භාගයේ දී ද කරට කර සටනක නිරත වීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණු නමුත් එය ජයග්‍රහණයකින් නිමා කර ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වීම කැපී පෙණුනි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගෝල් දිනුම් 03 ක් උත්සාහක දිනුම් 01 ක් සහ දඬුවම් පහර 01 ක් සාර්ථක කර ගන්නා අතර වාරයේ දී ශ්‍රී ලංකාවට රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ගෝල් දිනුම් 01 ක් උත්සාහක දිනුම් 01ක් සහ දඬුවම් පහර 03 ක් පමණි.
ශ්‍රී ලංකාවේ ලකුණු පුවරුව ඉහළ නංවන්න සමත් වූ මොහොමඩ් රිෆාන් 01 සහ ෂමික කෞෂාන් 01 බැගින් උත්සාහක දිනුම් සටහන් කළහ. එහි එක් ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහර 03 ක් සාර්ථක කර ගැනීමට තරින්ද රත්වත්තේ ට හැකියාව ලැබිණි.
මෙවර තරගාවලියට අවතීර්ණ වෙමින් කොළඹ දී පැවති පළමු තරගයේ දී දකුණු කොරියාව හමුවේ ද කව්ලූන් අගනුවර දී ක්‍රියාත්මක කෙරුණු දෙවන තරගයේ දී හොංකොං දේශය හමුවේ ද පරාජය ලැබීමට ශ්‍රී ලංකාවට සිදු විය.
මෙම වටයේ දී ඉහළම දක්ෂතා ප්‍රදර්ශනය කළ හොංකොං දේශය මීළඟ ලෝක කුසලාන තරගාවලියට එක්වීම සඳහා නිර්දේශය ලබාගැනීම කැපී පෙණුනි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර