පුරා වසර 16 කට අධික කාලයක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් බිමේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස්ගේ 119 වැනි ටෙස්ට් තරගය හෙවත් ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කිරීම දක්නට ලැබෙන අවසාන තරගය වූ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පසුගිය (17දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ගෞරවනීය උපහාර දැක්වීමේ චාම් උත්සවයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ මඟ පෙන්වීම යටතේ උප සභාපති ආචාර්යය ජයන්ත ධර්මදාස සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උපහාර දැක්වීමේ සුවිශේෂී අවස්ථාව ඊයේ පෙරවරුවේ තරගය ආරම්භයට මොහොතකට පෙර සිදුකෙරිණ. මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි පැමිණි ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා විසින් ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකරන ලද සේවය අගයා රත්‍රනින් නිම කරන ලද විශේෂ සිහිවටනයක් ප්‍රධානය කරනු ලැබීය. මැතිව්ස් එම සිහිවටන ලබාගන්නා අවස්ථාවේදී ඔහුගේ දරුවන් සිව් දෙනා ද ඔහු සමගින් එම අවස්ථාවට සහභාගිවීම කැපී පෙනුණි. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිර්මාණය කරන ලද සමරු ඵලකය ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා විසින් පිරිනැමුවේය. මෙම අවස්ථාවට මැතිව්ස්ගේ ආරාධනයෙන් පවුලේ සාමාජිකයන්, හිතවතුන් මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් සහභාගිව සිටියහ.
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය තම වසර 16 ක ටෙස්ට් තරග දිවියේ අවසන් ටෙස්ට් තරගය වන බව ඇන්ජලෝ මැතිව්ස් මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබුණි.

මැතිව්ස් වසර 2009 ජූලි 04 වැනිදා සිය මංගල ටෙස්ට් තරගයට සහභාගිවූයේ පාකිස්තානයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී වන අතර ඔහුගේ ටෙස්ට් දිවියේ සුවිශේෂී කඩ ඉමක් වූ 100 වැනි ටෙස්ට් තරගයටද 2022 වසරේදී සහභාගි වූයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීය. එමෙන්ම තම ටෙස්ට් තරග දිවියේ අවසානය සනිටුහන් කෙරෙන ටෙස්ට් තරගයටද ගාල්ලේදී ක්‍රීඩා කිරීමට මැතිව්ස්ට හිමිවීම දෛවෝපගත දුර්ලභ සිදුවීමක් ලෙස සඳහන් කළ හැක. මංගල ටෙස්ට් තරගය, ක්‍රිකට් දිවියේ සියවැනි ටෙස්ට් තරගය මෙන්ම සමුගැන්මේ තරගය එකම ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරන ලද ටෙස්ට් ක්‍රීඩකයන් කිහිප දෙනා අතර මැත්ව්ස්ගේ නාමයද සනිටුහන් වනු ඇත.
මැතිව්ස් සිය ටෙස්ට් දිවියේදී ටෙස්ට් තරග 118කදී ඉනිම් 216ක් ටෙස්ට් ශතක 16ක් සහ අර්ධ ශතක 45ක් සමඟින් ලකුණු 8,167ක් රැස් කරගෙන සිටී. 2013 වසරේදී ශ්‍රී ලංකාවේ ටෙස්ට් නායකත්වය තමන් උරමතට ගත් ඇන්ජලෝ ටෙස්ට් තරග 32කදී තරග 13ක් ජයග්‍රහණය කරවීමට හැකියාව ලැබිණි. ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට්වල තුන්වැනි වැඩිම ලකුණුලාභියා ලෙස ඇන්ජලෝ මැතිව්ස් හැඳින්විය හැකියි. ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ සොඳුරුතම යුගයේ අවසන් පුරුක “ඇන්ජලෝ මැතිව්ස්” එළඹෙන 17 වැනිදා බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් පසුව සිය ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා 2008 වර්ෂයේ දී සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කරන මැතිව්ස් වසර 17ක් පුරාවට සිය තුන් ඉරියව් දක්ෂතාවයන් පෙන්වා සිය ක්‍රීඩා ලෝලීන් පිනවීමට ඔහුට හැකියාව ලැබිණි.
38 හැවිරිදි වියේ පසුවන මැතිව්ස් 2013 වසරේදී ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ අතර අනතුරුව සුවිශේෂී ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඔහුගේ නායකත්වය යටතේ හැකියාව ලැබිණ. නායකත්වය ලබා දුන් තරග 32 කින් ජයග්‍රහණය 13 ක් ලබා දීමට මැතිව්ස්ගේ නායකත්වයට හැකියාව ලැබිණ. ඒ අතරට 2016 වසරේදී ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සහභාගිවූ තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී ලද පූර්ණ තරගාවලි ජයග්‍රහණයද ඇතුළත්වය.
දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් තම ජාත්‍යන්තර තරග දිවියට මැතිව්ස් පණ පෙවුවද කාලයත් සමඟ ඇතිවූ ආබාධයන් හේතුවෙන් ඔහු ප්‍රමුඛත්වයක් ලබා දුන්නේ පන්දුවට පහර දීමටය. විශේෂඥ පිතිකරුවකු ලෙසින් ඵලදායී කාර්ය භාරයක් ඉටු කළ මැත්ව්ස්ගේ සුවිශේෂීම කාල සමය ලෙසින් 2014 වසර හැඳින්විය හැකිය. එම වසර ඇතුළත ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 77.33 ක් රඳවා ගනිමින් ලකුනු 1160 ක් රැස් කර ගත්තේ හෙඩිංග්ල්හිදී ලබා ගත් ආකර්ෂණීය ලකුණු 160 ක වටිනා ඉනිමද සමඟිනි. මෙම ඉනිම ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමු වතාවට එංගලන්ත කණ්ඩායම එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියකදී පරාජයට පත් කිරීමට ප්‍රධාන දායකත්වයක් ලබා දුන් ඉනිමක් ලෙසින් හැඳින්විය හැක. (ශ්‍රී ලංකාව මීට පෙර 1998 වසරේදී එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග ජයග්‍රහණයක් ලබා තිබුණ ද ඒ එක් තරගයකින් යුත් තරගාවලියක් විය.)
කෙසේ වෙතත් 2017 වසරේදී සිම්බාබ්වේට එරෙහිව පැවැති තරගාවලියේදී නායකයකු ලෙසින් කැපී පෙනෙන කාර්යය භාරයක් ඉටු කිරීමට මැතිව්ස් අපොහොසත්වීම නිසා ඔහු නායකත්වයෙන් ඉල්ලා අස්වූවේය.
සිය සමුගැන්ම සටහන් කෙරෙන අවසන් ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් දිනාගත් ළහිරු උදාරට, එය සංඛේතවත් කිරීම වෙනුවෙන් ලබා දෙන කැප් තොප්පිය ඇන්ජලෝ මැතිව්ස් විසින් ලබා දීමද ඔහුගේ සමුගැන්මට තවත් වටිනාකමක් එක් කරන්නක් වූවේය.

****
ඇන්ජි ඔබ කළ දේට ස්තූතියි…
ඇන්ජලෝ වෙනස් සංස්කෘතියක් ඇතුළත නිර්මාණය වූ ක්‍රීඩකයෙකි. ඒත් ඔහු පිළිබඳ මතකය ඉතිහාසයේ හැමදාම සුරැකෙන බව කිව යුතුය. ඇන්ජි කෙනකු ආදර්ශයට ගත යුතු චරිතයකි. ඇන්ජි කළ දෙයට ස්තූතියි. ඒත් තව ඉදරියට ඔබට කළ හැකි දේ තිබෙයි. ඒ සඳහා ඔබ අලුත්වීම නොනැවත්විය යුතුයි. යනුවෙන් පවසා තිබුණේ හිටපු ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මා විසිනි. ඔහු මෙසේ කියයි “හේයි ඇන්ජි, ඔයාගේ අපූරු වෘත්තීය ජීවිතයට සුබ පැතුම්. අපේ 19න් පහළ කාලයේ සිට මේ දක්වා අපිට හොඳ සටන් තිබුණා. ඔයා ඔයාගේ ජාතිය වෙනුවෙන් සැබෑ සේවයක් කරලා තියෙනවා, ඔබේ රටේ හැමෝම ඔයා ඔයාගේ රට වෙනුවෙන් කරපු දේ අගය කරනවා කියලා මට විශ්වාසයි,”
ඔහු කඩුල්ලේ පසෙක රැඳී සිටීම තවත් පිතිකරුවකුගේ දිරියට සවියට විශාල කාරණාවක් විය. වරෙක ඔහු ලසිත් මාංලිග සමඟ එක්ව නොසිතූ තරගයක ජය ශ්‍රී ලංකාවට ගෙනවිත් දුන්නේය. තවත් වරෙක දිනේෂ් චන්දිමාල් ඓතිහාසික ලෝර්ඩ්ස් පිටියේ ශතකයකට යෑමට තිබුණු අවස්ථාව උදා කර දෙන්නේ මැතිව්ස්ය. එසේම තවත් අවස්ථාවක ලෝක ටෙස්ට් ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබමින් සිය දෙවන ඉනිමේදී පෙනි පෙනී තිබුණු පරාජයක් නැවතීමට ඔහු කුසල් මෙණ්ඩිස් සමඟ මැරතන් ඉණිමක නොදැවී නියැලෙන්නේය. ක්‍රීඩාව නූතනත්වයට සමීප වන්නේම විද්‍යාව සහ තාක්ෂණික කාරණා මතය. ඒ අනුව ස්වකීය කුසලතාවය ඉක්මවා ගිය පරිචයක ක්‍රීඩකයාගේ පැවත්ම රැඳී ඇත. ඒ කුමන දියුණුවක වුව දක්ෂතාවය සුරක්ෂිත කර ගැනීම රැඳී ඇත්තේ කැපවීම මතය. ඇන්ජලෝ සතුව ඒ කැපවීම ඉහළින්ම තිබිණ. ඒ වගේම විවිධ කේෂ්ත්‍ර හරහා උකහා ගන්නා දැනුම හරහා තරගයක් කියවා ගැනීමට තිබුණු හැකියාවද වැදගත්ය.
2008 වර්ෂයේ දී සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කරන මැතිව්ස් වසර 17ක් පුරාවට සිය තුන් ඉරියව් දක්ෂතාවයන් පෙන්වා ක්‍රීඩා ලෝලීන් පිනවීමට ඔහුට හැකියාව ලැබිණි. වත්මන් ටෙස්ට් ක්‍රිකට් පිලෙහි නැංගුරම වූ ඇන්ජලෝ මැතිව්ස් 2009 දී පාකිස්තානයට එරෙහිව ගාල්ලේදී පැවැත්වුණු තරගයෙන් ටෙස්ට් වරම් ලබාගද්දී ඔහුගේ අවසන් තරගයත් ගාල්ලේ පැවැත්වීම විශේෂත්වයකි.
එස්.ජේ ප්‍රියකාන්ත