බැංකුවේ තිබුණු කෝටි 20ක් රාජසන්තකයි
බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ මැණික් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ චීන ජාතික ප්‍රකට මැණික් ව්‍යාපාරිකයකු වන වෙයිවින් ලිව් නමැති 50 හැවිරිදි දෙදරු පියකුට වසර 15කට අත්හිටවූ බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවමක් නියම කළ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඔහුගේ නමින් පෞද්ගලික බැංකුවක තැන්පත් කොට තිබූ රුපියල් මිලියන 201කට අධික මුදලක් රාජසන්තක කිරීමට ද ඊයේ (12දා) නියම කළේය.
2017 ඔක්තෝබර් 19 හා 2018 පෙබරවාරි 28 වැනිදා කාලය අතරතුර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් නිකුත් කළ නිසි බලපත්‍රයක් නොමැතිව මැණික් අලෙවි කිරීමෙන් උපයාගත් මුදල් පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමේ චෝදනාවට එනම් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පහත යටතේ ගැනෙන චෝදනාවට වරදකරු කරනු ලැබූ එකී විත්තිකරුට එම දඬුවම් නියම කළේය.
එම විත්තිකරු වසර 12කට ආසන්න කාලයක් බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ මැණික් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවත් පසුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් නිත්‍යානුකූල බලපත්‍රයක් ලබාගෙන ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය වී තිබිණි. මුදල් විශුද්ධිකරණයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන රටක් ලෙස ශ්‍රී ලංකාව මේ වනවිට කීර්තියක් දිනාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් ලබන වසරේදී ජාත්‍යන්තර ඇගයීමට ලක්වීමට නියමිත බවත් නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා විනිසුරුවරයාට පැවැසීය.
සිය සේවාදායකයා ශ්‍රී ලංකාවට පැමිණ මැණික් ව්‍යාපාරය ආරම්භ කළ නමුත් ඒ සඳහා බලපත්‍රයක් අවශ්‍ය බව දැන නොසිටි බව එහිදී අධිකරණයට පැවැසූ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රන්ජන් ද සිල්වා මහතා විත්තිකරුට යළි සමාජ ගත විය හැකි පරිදි ලිහිල් දඬුවමක් නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එකී කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරු පෙර කී චෝදනාවට පමණක් වරදකරු කොට නීති විරෝධී ක්‍රියාකාරකමින් උපයාගෙන බැංකු ගත කොට තිබූ රුපියල් 201, 664, 274.20ක මුදල රාජසන්තක කිරීමට නියෝග කළේය.
ඒ.ජේ.ඒ. අබේනායක