ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මතුගම
කටුගහහේන රෝහල් නිරීක්ෂණ චාරිකාවේදී කියයි
අපේ රටේ රෝහල් පද්ධතියේ ඇඳන් 84000 ක් තියෙනවා. එයින් භාගයක්ම තියෙන්නේ රෝහල් 53 කයි. ඇඳන් උඩ ලෙඩ්ඩු දෙන්නයි ඇඳන් යට ලෙඩ්ඩු දෙන්නයි කියන කථාව හැමෝම කතා කරන්නෙත් පත්තරවල යන්නෙත් එම රෝහල් ගැනයි. සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රාදේශීය රෝහල්වල තිබෙන ඇඳන් 20000 ක ප්‍රමාණයට එතරම්ම රෝගීන් නැහැ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසුවේ මතුගම කටුගහහේන රෝහලේ නිරීක්ෂණ චාරිකාවක යෙදුනු අවස්ථාවේ පැවති උත්සව සභාව අමතමිනි. එහිදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩි දුරටත් මෙසේද පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස අප ප්‍රමුඛ කාර්යභාරය කරගෙන තිබෙන්නේ ප්‍රාථමික සෞඛ්‍ය දියුණු කිරීමයි. අපේ රටේ සෞඛ්‍ය ඇමැතිවරු වැඩිපුරම කැමති ලොකු රෝහල් හදන්න. ලොකු රෝහල්වල ලොකු ගොඩනැගිලි හදන්න.
බෝ නොවන රෝග අපේ රටේ විශාල වශයෙන් ව්‍යාප්තව පවතිනවා. ඒක තමයි අපිට තිබෙන විශාලම බර සෞඛ්‍යයේ. ඒවගේම බාහිර රෝගී අංශයට සාමාන්‍යයෙන් අවුරුද්දකට පැමිණෙන රෝගීන් ප්‍රමාණය රාජ්‍ය අංශයට පමණක් ලක්ෂ 550 යි. ජනගහනය ලක්ෂ 200 යි. ලක්ෂ 550 ක් එනවා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගන්න. සාමාන්‍යයෙන් කියනවා පෞද්ගලික අංශයෙන් සියට 50 ක ප්‍රමාණයක් ප්‍රතිකාර ගන්නා බව. එහෙම බැලුවොත් මිලියන 110 ක් විතර බාහිර රෝගී අංශයට ප්‍රතිකාර
ගන්න එනවා. ඒක සෞඛ්‍ය අංශයට දරාගන්න බැහැ. එහෙම නම් අප ප්‍රතිකාර කළ යුතු වන්නේ පදිංචි ස්ථානයට ඉතා කෙටි දුරකින් කිලෝමීටර් 3ක් දුරින් සාමාන්‍යයෙන් ග්‍රාම නිලධාරී වසම් 5 ක ජනගහනයෙන් 7000 කට විතර ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන පිහිටුවිය යුතුයි. ඒක අප ඉතාම විද්‍යානුකූල ක්‍රමයකට
ගොඩනැගිය යුතුයි.
අප මේ දවස්වල එවැනි තැන් සඳහා සුදුසු ස්ථාන සිතියම් ගත කරමින් සිටිනවා. මේ යටතේ අප ගම්වල තිබෙන සෞඛ්‍ය මධ්‍යස්ථානවල පහසුකම් වැඩි දියුණු කරනවා. ජනතාවගේ ප්‍රාථමික සෞඛ්‍ය වැඩිදියුණු කරලා ජනතාවට සෞඛ්‍ය ගැන වදවෙන්නේ නැති තැනකට සෞඛ්‍ය අරගෙන ඒමයි අපේ උත්සාහය. පෝලිම් වල තියෙන එක නෙමෙයි. රස්තියාදු කරන එක නෙමෙයි. අනාගතයේදී අපේ සෞඛ්‍ය කාර්යමණ්ඩල නිවසටම ගිහින් ප්‍රතිකාර කිරීමට හැකි තත්වයක් අප උදාකරනවා.
අපේ ජනගහනය ඉතාම වේගයෙන් වයස්ගත වෙමින් යනවා. ඉදිරි වසර 30 කදී ජනගහනයෙන් සියයට 25 ක් වැඩිහිටියන් බවට පත්වෙනවා. ඒ අය රෝහලට ගෙන්වා ගැනීම නෙමෙයි ගෙදරට ගිහින් බලලා අවශ්‍ය ප්‍රතිකාර කිරීමයි කළ යුත්තේ. බෝ නොවන රෝග, මානසික සෞඛ්‍ය, ඒවගේම පුනරුත්ථාපනය, සහන ප්‍රතිකාර වගේ පැකේජයක් මේ මගින් ක්‍රියාත්මක වෙනවා.
අප ඉදිරියේ කිරීමට සැලසුම් කරන දේ කටුගහහේන රෝහලේ වෛද්‍ය රංජිත් දිසානායක ඇතුළු කාර්ය මණ්ඩලය පසුගිය කාලය පුරා සිදුකර තිබෙනවා. කටුගහහේන රෝහලේ සිටින වෛද්‍ය රංජිත් දිසානායක කියන්නේ අමුතු දොස්තර කෙනෙක්. ඒ නිසා මම කැමතියි කටුගහහේන මොඩලය මුළු ලංකාවටම හඳුන්වා දෙන්න. එතැනදී වෛද්‍ය රංජිත් දිසානායකගේ ඒ අත්දැකීම් ඉතාම ප්‍රායෝගික අත්දැකීම්. ඔහු ජනතාවත් සමග කටයුතු කිරීමේදී ලබාගත් අත්දැකීම් ප්‍රමාණය සෞඛ්‍ය අමාත්‍යංශයට එකතු කරගෙන අපේ කටයුත්තට ලොකු හයියක් අරගන්න බලාපොරොත්තු වෙනවා.
මේ කටුගහහේන රෝහල මේ තත්ත්වයට ගෙන ඒමට තනියම බැරි බව මා දන්නවා. අද වසර 30 කට වැඩි කාලයක් වෙන කිසිම දෙයක් බලාපොරොත්තු නොවී වැටුපට සීමා නොවී, කිසිම ඉල්ලීමක් නොකර සේවාව විතරක් වෙනුවෙන් කැපවූ අද විශ්‍රාම යන ප්‍රේමවතී මහත්මිය වැනි සෞඛ්‍ය සේවයේ නිරත ලක්‍ෂ එකහමාරකට ආසන්න සෞඛ්‍ය පවුලක් නිසා තමයි අද මේ තරමින්වත් සෞඛ්‍ය ආරක්ෂා වී තියෙන්නේ.
මම රෝහල්වලට වැඩිපුර යන්නේ නැහැ. අපිට රෝහල්වලට යන්න ඉස්සෙල්ලා කළ යුතු වැඩ කොටසක් තියෙනවා. ඉස්සෙල්ලාම අපට දෙන්න පුළුවන් උපරිම කාර්ය මණ්ඩලය රෝහල්වලට දෙන්න ඕනා. අපි පසුගියදා 3147 කට අලුත් හෙද පත්වීම් ලබාදුන්නා. 43000 ක් විතර ඕනා. රෝහල්වලට 60000 ක් ඉන්න ඕනා. ක්‍රමානුකුලව මේ ප්‍රමාණය නිෂ්පාදනය කරන්න ඕනා.
ඒවගේම අපි ඊයේ පෙරේදා තවත් 642 කට සෞඛ්‍ය කාර්ය සහායක පත්වීම් ලබාදුන්නා. ඩෙංගු සහායකයන් ස්ථීර කළා. 976 කට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට පත්වීම් ලබාදුන්නා. තව ඉතාම ඉක්මනින් සෞඛ්‍ය කාර්ය සහායකයන් 1000 කට උසස්වීම් දෙන්න බලාපොරෝත්තු වෙනවා උපස්ථායකයන් හැටියට. ඊට අමතරව සෞඛ්‍ය කාර්ය සහායකයන් තව 3000 ක් බඳවාගන්න බලාපොරොත්තු වෙනවා. වෛද්‍යවරුන් 1800 ක් ළඟදී පත්වීම් ලබනවා.
මේ ටික කරගත්තොත් තමයි අපිට රෝහලකට ගියාම අහන ප්‍රශ්නවලට අඩුගානේ සියට 60 කටවත් උත්තර දෙන්න පුළුවන් වෙන්නේ. පළවෙනි එක සෞඛ්‍ය කාර්යමණ්ඩලය. ඊළඟට අපි සැලසුමක් සහිතව ඉදිකිරීම් කටයුතු කරනවා. දැනටමත් ජනාධිපතිතුමා ඇතුළු අපේ අමාත්‍ය මණ්ඩලය ඉතිහාසයේ වැඩිම මුදලක් සෞඛ්‍යයට වෙන කළා මේ අයවැයෙන්. රුපියල් කෝටි 60400 ක ලොකු මුදලක් ඒ සඳහා වෙන් කර තිබෙනවා. ජනතාවට තමන්ගේ ළඟම රෝහල හොඳම රෝහල බවට පත්කර ගැනීමට වුවමනාව තිබෙන අතරේ රෝහල් වර්ගීකරණය යටතේ අදාළ රෝහල් කාණ්ඩයට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කිරීම තුළින් අප සෞඛ්‍ය සේවය නගා සිටුවනවා.
මෙම අවස්ථාවට පූජ්‍ය යටදොලවත්තේ චන්ද්‍රසිරි කකුලන්දල පාර්ශවයේ ප්‍රධාන සංඝනායක හිමියන් ඇතුළු ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුමල් නන්දසේන, කටුගහහේන රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රංජිත් දිසානායක ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් සහ කාර්යමණ්ඩල, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර මෙම උත්සවයේදී කටුගහහේන රෝහලේ වසර 30 කට අධික කාලයක් උපස්ථායිකාවක් ලෙස සේවය කර විශ්‍රාම ලැබූ ජී. ප්‍රේමවතී මහත්මියට උපහාර පිදීමද මෙහිදී සිදුකෙරිණි.
වසර 30 ක සේවා කාලයට උපහාර ලැබූ විශ්‍රාමික උපස්ථායිකා ජී. ප්‍රේමවතී මහත්මිය
මතුගම – අනුර ජයසේකර,බී.තඹවිට