රියැදුරුට නින්ද ගියා දැයි සැකයක්
මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අවිස්සාවේල්ල – කොළඹ පරණ මාර්ගයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී ලොරි රථ 3ක් ඇතුළු වාහන 10 ක ගැටී ඊයේ (11දා) අලුයම සිදුවූ බිහිසුණු රිය අනතුරකින් බස් රථයේ ගමන් ගත් 15 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
වැල්ලම්පිටිය ඉන්ධන පිරවුම්හලත්, මීතොටමුල්ල හන්දියත් අතර මාර්ගය අයිනේ ගොඩනැගිලි ද්‍රව්‍ය උපකරණ අලෙවි සලකට අයත් ලොරි රථ තුනක් රාත්‍රී කාලයේ එම අලෙවිසල ඉදිරිපිට නතර කර තිබී ඇත. අලුයම අධික වේගයෙන් පැමිණ ඇති මගී බස් රථය මාර්ගය අයිනේ නතර කර තිබූ ලොරි රථය පිටුපස ගැටී ඇති අතර, ඉන් පසු බසය තවත් වාහන කිහිපයක ගැටී ඇතැයි පොලිසිය පවසයි. බස් රථයේ රියැදුරුට නින්ද යෑමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි සැකකරන බවද පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා