පොලිසියට පැමිණිල්ල කළ ආකාරය ගැන සේවකයෝ අතර විමතියක්…
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් පන්ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු ඉකුත් 04 දින රාත්‍රී කාලයේ සොරකම් කර ඇතැයි සත්වෝද්‍යාන ආරක්‍ෂක නිලධාරියෙකු විසින් දෙහිවල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
මෙම කූඩුව භාරකරු උදෑසන රාජකාරිය සඳහා යතුරු රැගෙන විත් බැලීමේදී එහි ආරක්‍ෂාව සඳහා දමා තිබූ ඉබ්බා කඩා තිබීම හේතුවෙන් සියලුම ඉහළ නිලධාරීන් දැනුවත් කර ඇත. ඒ අනුව එම ස්ථානයට පැමිණි නිලධාරීන් පරීක්ෂා කර මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර ඇත. මෙම ගිරවා රඳවා සිටින කූඩුව තුළ නිල් කහ මැකෝ ගිරවුන් 30 ක් රඳවා සිට ඇති අතර ඉන් එක් ගිරවෙකු මෙසේ සොරාගෙන ගොස් තිබේ.
එහෙත් සත්වෝද්‍යානයේ කිසියම් සත්වයෙකු අතුරුදන් වීමක් හෝ සොරකම් කිරීමක් සිදු වුවහොත් ඒ පිළිබඳව පොලිසියේ පැමිණිලි කළ යුත්තේ සත්ව අංශ භාර නිලධාරියෙකු හෝ ඉහළ නිලධාරයෙකු විසින් වුවත් මෙම සොරකම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකාවක විසින් සතුන් පිළිබඳව අවබෝධයක් නොමැති ආරක්‍ෂක නිලධාරියෙකු යොමු කිරීම විමතියට කරුණක් බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
අප මේ පිළිබඳව සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා මෙසේ කියා සිටියේය. “නිල් කහ මැකෝ ගිරව් හිටපු කූඩුවේ ආරක්‍ෂාවට තිබුන ඉබ්බා කඩලා ගිරවෙකු සොරකම් කරලා. අපි මේ පිළිබඳව දෙහිවල පොලිසියට පැමිණිල්ලක් කරල තියෙනවා. පොලිස් නිලධාරී මහත්වරුන්ගේ ඒ විමර්ශන කටයුතුවලට අවශ්‍ය පූර්ණ සහය අපි ලබාදෙනවා”.
2021.08.08 දිනයේදී මෙම කූඩුවේ රඳවා සිටි නිල් කහ මැකෝ ගිරවෙකු පැනගිය බවට පොලිසියට පැමිණිල්ලක් කර තිබූ අතර පසුව ලද තොරතුරකට අනුව එම ගිරවා රත්මලාන, බොරුපන ප්‍රදේශයේ නිවසක සිටියදී සොයාගෙන තිබිණි.
පින්සිරි ආරියරත්න – රත්මලාන