කැනඩාවේ රැකියා සඳහා යවන බව පවසා පුද්ගලයන් දෙදෙනකුගෙන් රුපියල් 33,17,700ක මුදලක් බැංකුගත කරවාගෙන පොරොන්දු වූ පරිදි එම රැකියා ලබා නොදී වංචාකළ බව කියන පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට මතුගම විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.
තම මුදල් රුපියල් 13,70,000ක් වංචා කළ බව කියමින් අගලවත්ත, හැළඹ, වැලිගොඩැල්ලේ පදිංචි වීරකෝන් මල්හාමිලාගේ අමිත් මංජුල (අවු. 45) සහ තම මුදල් රුපියල් 19,47,700ක මුදලක් වංචාකළ බව කියමින් වතු පාලකවරයකු වන මහ කළුපහන, ළිහිණියාවේ පදිංචිකරුවකු වූ හීනටිගල ගමගේ දිරන්ත කෝසල තිලකරත්න (අවු. 35) යන අය විසින් කරන ලද පැමිණිළිවලට අදාළව මෙම පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මතුගම විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. එස්. රෝහණ මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
කළුතර විශේෂ – එස්. ආරච්චිගේ