කප්පකන්දර නදිය හෙවත් මැණික් ගංගාව ආශ්‍රිතව බිහිවූ කාචරග්ග්‍රාමය සහ මෙහි අධිපති දෙවියන් පිළිබඳවූ ගොඩනැඟී ඇති ජනපදවාද සාහිත්‍යයක් තිබේ. කරතගම දෙවිඳුට තරම් රසවත් ජනප්‍රවාද කතා රාශියක් බිහිවූ වෙන කිසිදු දෙවියකු නැතැයි කිව හැකිය. කඳසුරිඳුගේ ප්‍රතිමාවේ දෙපස දෙවඟණන් දෙදෙනකු ආසනාරූඪව සිටින අයුරු දක්නට ලැබේ. මින් නිරූපණය වනුයේ සහ පිළිබිඹු වනුයේ දෙවිඳුන් තුළ පවතින ‘ශක්තීන්’ යුගලය බව ‘හින්දු දේව පුරාණය’ පෙන්වා දෙයි. එම ශක්තීන් ශිව දෙවියන්ගේ ලලාටයෙන් මුදාහළ රශ්මි දහරාවකින් කඳකුමරු උපත ලද පසු යුද ශක්තිය ලබා ගනු පිණිස ශිව දෙවියන් විසින් ලබාදී ඇති ශක්ති විශේෂයකි ක්‍රියා ශක්ති. ඥාන ශක්ති ලෙස මෙම ශක්ති යුගලයෝ ප්‍රකට වෙති. මින් ගම්‍ය වන කරුණු දෙකකි. ඕනෑම පුරුෂයකුට සිය දිවි ගමනේ සාර්ථකත්වය කරා යෑම සඳහා මාතෘත්වය හෙවත් කාන්තාවකගේ ආශීර්වාදාත්මක ශක්තිය හා ක්‍රියාත්මක වීම අවශ්‍ය වන බවයි.
විවිධ පුරාණයන්හි කඳදෙව් උපත පිළිබඳ විචිත්‍ර කතා පුවත් ගොඩනැඟී ඇතත් ශිව පුරාණයට අනුව ඒ සුන්දර කතා පුවත මෙසේය. දක්‍ෂගේ දර සෑයට පැන ‘සති දේවිය’ මියගිය නිසා මේ කාලය වන විට ශිව දෙවිඳු හුදෙකලා ජීවිතයක් ගත කරමින් සිටියේය. ශිව දෙවිඳුගේ තාපස දිවිය ගැන මැනවින් දැන සිටි සුර පද්ම හෙවත් තාරක අසුර රජු ශිව යළිත් විවාහ නොවනු ඇතැයි ස්ථිරව නිගමනය කළේය. මහා බ්‍රහ්ම ඉදිරියේ නොයෙක් දුෂ්කර ක්‍රියාවන්හි යෙදුණු මේ අසුර රජු මහා බ්‍රහ්ම පහදවා ගෙන වරයක් ඉල්ලීය.
මොහු ඉල්ලූ වරය නම් ශිවගේ පුතකු හැර වෙනත් කිසියම් අයකුගේ අතින් තමාගේ මරණය සිදු නොවිය යුතුය. “මා මරා දැමිය හැක්කේ ශිවගේ පුත්‍රයකුටම පමණක්ය” යනුවෙනි.
මහා බ්‍රහ්ම පහදවාගෙන ඔහු වෙතින් වරය ලබාගත් තාරක අසුරිඳු බියක් සැකක් නැතිව කටයුතු කරන්නට විය.
ඔහු ඉන්ද්‍ර දිව්‍ය රාජ්‍යයාගේ අශ්වයා උදුරා ගත්තේය. කුවේරගේ මුහුදු අසුන් සිය දෙනා උදුරා ගත්තේය. සිතූ පැතූ සම්පත් දෙන ‘කාම ධේනුව’ ඍසිවරයා වෙතින් පැහැර ගත්තේය. බිය පත්වූ හිරු ලොවට ආලෝකය නොදුන්නේය. සඳු සදා කාලික නොබැස සොළොස් කලාවෙන් යුතුව සිටියේය. තාරක හෙවත් සුරපද්ම අණ කරන ආකාරයට සුළං හැමීය. මේ හේතුව නිසා අසුර බලය මහා විනාශ කළ යුතුය යන තීරණය දෙවියෝ හා බ්‍රහ්මයෝ කතිකා කළෝය. දේව හමුදාව මෙහෙය විය යුතු ශිව දෙවි සියලු දේ අතහැර තවුස්දම් රකින්නේය.
සෙනවියකු නැති දේව හමුදාව අසුරයන් විසින් පරදවන ලද බැවින් දෙව්ලොවින් දෙවියන් පමණක් පන්නා දමා දෙවඟනෝ පමණක් අත්අඩංගුවේ තබා ගනු ලැබූහ. බොහෝ දෙවිවරු හිමාලය කඳුමුදුනේ ද තවත් පිරිසක් කෛලාස කූටය මත ශිවදෙවි පාමුල ද විසූහ.
ශිව දෙවිඳුගේ මියගිය බිරිඳ සතී දේවිය පාර්වතී නමින් යළි ඉපදී සිටියාය. ඇය ශිවදෙවි විවාහ කර ගැනීම සඳහා අයැදිමින් විවිධ පුද පූජා පවත්වමින් සිටියාය. එහෙත් දැඩිව තවුස්දම්හි ඇලී විසූ ශිවට එය නොපෙනුණි. සියලු දෙව්බඹුන් ශිව දෙවි ඉදිරියේ වැඳ වැටුණ ද නිෂ්ඵල විය. මේ සඳහා පාර්වතී හෙවත් උමා දේවිය පැමිණෙන වේලාවක් බලා කාම දේවයා එහි පිටත්කර හැරීමට විෂ්ණු, බ්‍රහ්ම, ඉන්ද්‍ර ආදී දෙවිවරු තීරණය කළහ.
මේ මහ දෙවිඳුගේ භාවනාවට බාධා කරන කෙනකුට ගැලවීමක් නොමැති බව දැන දැනත් අසතුටෙන් වුවද ඒ වගකීම කාම දේවයා හෙවත් අනංගයා භාර ගත්තේය.
ඔහු සිය සගයා වූ වසන්තන් ද කැටුව කෛලාසයට ගියේය. දිවි සමත් මත නිසලව හිඳ භාවනා කරන ශිව දෙවි ඔවුන්ට දක්නට ලැබුණි. සුළඟ පවා මහ දෙවියන්ට බාධා නොකැමැතිව නිසලව සිටියේය. ඒ මොහොතේ උමා දේවිය මල් නෙළමින් සිටියාය. ඇගේ රූපයෙන් දිරිමත් වූ අනංගයා ආලයෙන් පණ පෙවුණු හීයක් ශිව දෙවිඳු වෙත එල්ල කළේය. හදිසියේ කැලඹුණු මහ සයුර සේ ‘ශිව දෙවි’ සමාධියෙන් නැඟිට සිටියේය.
තමන්ට බාධා කළ තැනැත්තා සෙවීම සඳහා අවට පරිසරය නැරඹූ මහ දෙවියාට දුනු හී අතැතිව සැඟවීමට සැරසෙන අනංගයා දක්නට ලැබුණි. ශිව දෙවිඳු කෝපයෙන්, තුන්වැනි ඇස විවරකොට අනංගයා දෙස බැලීය. එසැණින් කාමදේව හෙවත් අනංගයා දැවී අළු විය. ශිව – උමා දෙදෙනා ආලයෙන් බැඳුණි. උමා දේවියගේ බලවත් ඉල්ලීම මත අනංගයාට යළි ජීවය ලබාදීමට ශිව දෙවිඳුට සිදුවිය. විවාහයෙන් පසුව ද ශිව – උමා යුවළට දරුවන් නොලැබුණි. මේ නිසා ශිව දෙවිඳු වෙත පණිවුඩකරුවකු යැවීමට විෂ්ණු දෙවිඳුට සිදුවිය. ඉන් අනතුරුව අග්නි යැවීමට සිදුවිය. නිසි කල් බලා අග්නි කෛලාසයට පැමිණියේය. පරෙවි වෙසක් ගත් අග්නි ශිව දෙවිඳුගෙන් බීජයක් ගෙන පියාඹා ගියේය. ඔහුට එය දරාගත නොහැකිව ගංගා නම් ගඟට දමා ගැසීය. ගංඟාවට ද එය දරාගත නොහැකිව ‘සරවන’ විලට මුදා හැරියේය. සරවන විල මත නෙළුම් පිපුණු සුවඳවත් වූ ලස්සන පියුම මත චන්ද්‍රයා මෙන් බබළන රූමත් කුමරකු බිහිවුණේය. සරවන භව කඳ සුරිඳුගේ තෙද බලේ කෘත්තිකා නමැති දේව කුමරියන් සය දෙනකු කුමරු වට කරගෙන සිටිති. එක් එක් කුමරිය ළංවී කිරි පොවන්නට සැරසෙන විට කිරි බීම සඳහා කුමරුට මුහුණු සයක් මැවුණි. මුහුණු සයේ මුඛ සය හෙවත් සත්මුඛ සහිස් කඳකුමරු මවුවරුන් සය දෙනාගෙන් කිරි බීවේය. කෘත්තිකා කුමරියන් හය දෙනා දුටු කුමරු කාර්තික නම් විය. සරවන විලේ ජනිත වූ බැවින් සරවන භව නම් විය. සරවන විල අසල අසපුවෙහි නාරද ඍෂීන් වැඩ විසූහ. “ඕම් ශ්‍රී සරවන භව නමහ” එසේ කියමින් ඔහු කුමරුට නමස්කාර කළේය. මේ දෙව් කුමරු ස්කන්ධ, කාර්තික, සන්මුඛ, ෂඩාතන ආදී නම් දහසකින් ප්‍රසිද්ධ විය. ශිව පුරාණයෙහි අඩංගු ශ්‍රී ස්කන්ධ කුමාර උපත මෙතෙකින් නිමියේය.
‘අථකෝ ශිවෝ දේව පුත්තෝ’ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයේ ශිව නමැති දේව පුත්‍රයකු පැමිණ බුදුන් වහන්සේට වැඳ පැවැසූ කතාවක් එම සූත්‍ර දේශනාවට අයත් ගාථාවෙන් පෙන්වාදී ඇත්තේය.
එය එසේ නම් ශිව දෙවිඳුගේ පුත්‍රයා වූ ස්කන්ධ කුමාර දෙවියන් පමණක් මහසෙන් රජුගේ ඊළඟ ආත්මය බවට කෙරෙන ප්‍රකාශ ප්‍රතික්‍ෂේප කිරීමට සිදුවේ. මහා ඝෝෂ දිව්‍ය රාජයා ගැන ථූප වංශයෙහි සඳහන්ය. දෙව්න්දර ඉතිහාසය, සැළලිහිණි සංදේශය ආදී පැරණි ග්‍රන්ථ තුළ ද සඳහන් වනුයේ මේ හින්දු මහසෙන් දෙවියන් ගැනය. මහා සේනාවක් රැස් කරගෙන යුද සෙනවියකු ලෙස ගොස් අසුරාධිපති තාරක නැසුවේය. එබැවින් එතුමා මහසේන නම් විය. ශ්‍රී ලලිත විස්තරය නම්වූ ග්‍රන්ථයට අනුව සිද්ධාර්ථ කුමාරයා දේව වන්දනාව පිණිස මහ පෙරහැරින් වැඩම කරවාගෙන දේවාලයට ගිය අවස්ථාවේ එහි වැඩ සිටි දේව ප්‍රතිමා අතර ස්කන්ධ කුමාර දෙවියන් ද සිටි බව සඳහන්ය. ‘ලලිත විස්තරය’ යනු සතරවැනි ධර්ම සංගායනාවට සමගාමීව ලියැවුණු මහායාන සූත්‍ර නවයෙන් එකකි. ලක්දිව ප්‍රචලිතවූ දේව සංකල්පය තුළ බලයෙන් නොපිරිහුණු අනභිභවනීය එකම බලවත් දෙවියා ස්කන්ධ කුමාර නම් වේ. අග්ග මහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රය නාහිමියෝ කතරගම දෙවියන් පිළිබඳව මෙසේ සඳහන් කරති. බුදුන් වහන්සේට බුදු වෙන්නට සෙවණ දුන් බෝධීන් වහන්සේ ආශ්‍රිතව සුබ්‍රමණ්‍ය කියල දෙවි කෙනෙක් හිටියා. බුදුහාමුදුරුවෝ මේ දෙවියන් කැඳවලා උපදෙසක් දී කතරගමට එව්වා. ඒ නිසා කතරගම දෙවියෝ ද්‍රවිඩයෙක් නොවේ. දඹදිව හිටපු දේවතාවෙක්” ආනන්ද මෛත්‍රය නාහිමියෝ ඉන්දියාවේදී නාඩිවාක්‍යය විමසා බැලීමට ගියහ. ඒ විස්තරය උන්වහන්සේගේ වචනවලින්ම මෙසේය. “ආනන්ද මෛත්‍රය කියන මේ ඇත්තා දැන් හිතන්නේ කතරගම දෙවියෝ කියන්නේ කාටද කියලා. බුදු හාමුදුරුවෝ බුදුවෙච්ච අලුත සුබ්‍රමණ්‍ය කියන ආනුභාව සම්පන්න දෙවියකුට කතා කරලා කියනවා ඔබ ගිහින් පදිංචි වෙන්න ඕන තම්බපන්නි දේශයේ තිබෙන කප්ප කන්දර ග්‍රාමයේ”. ඔන්න ඔය වගේ මා ඇසූ ප්‍රශ්නයට දීර්ඝ විස්තරයකින් පිළිතුරක් ලැබුණා. කතරගම දෙවියන් කියන්නේ මෙහේ හිටපු රජ කෙනෙක් නොවෙයි. කතරගම දෙවියන් යනු මහසෙන් රජු යැයි කියන කතාව අසත්‍යයක් බව ආනන්ද මෛත්‍රය නාහිමියන්ගේ ස්ථාවරයයි. කතරගම දෙවිඳු ජීවමානව දුටු බව උන්වහන්සේ වදාළහ. ක්‍රි. ව. 1780 – 1790 මහනුවර සිට රාජ්‍යය විචාල රාජාධි රාජසිංහ රජ දවස සිටිනාමළුවේ බරණ ගණිත ආචාර්යවරයා රචනා කළ නීලකොබෝ සංදේශයෙහි අරමුණ වූයේ රජුගේ රෝගයක් සුවකර ගැනීමට සමන් සුරිඳුගේ පිහිට ඉල්ලීමය.
පසිඳු ‘සමතිඳුඟෙ නිති කහබු නළල සය
හරිඳු නෙත අඩක් ගලරිවි මඬල යස
එබඳු ගණ කණක පට සයෙහි විලසින
විහිදු කිරණ’ සවිදු ලතෙත් එම ලෙසය
ක්‍රි. ව. 17 වැනි සියවස වන විට මෙම දෙවියන්ගේ ජනප්‍රියත්වය ඉහළ මට්ටමක පැවැති බව පෙනී යයි.
කතරගම –
නිමල් කුඩාතිහි