වත්තේගම තුඩුගල හරහා මහනුවර බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් ඊයේ (03දා) පෙරවරු 11.20ට පමණ අරලිය උයන ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යෑමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 15 දෙනකු තුවාල ලබා වත්තේගම රෝහලට ඇතළත් කර තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 25 දෙනකු පමණ සිට ඇත.
බස් රථය ධාවනය වෙමින් තිබියදී රියැදුරු අසුන ආසන්නයේ ඇති දොර විවෘත වී තිබේ. රියැදුරු එය අල්ලා ගැනීමට උත්සාහ දැරීමේදී බස් රථය රියැදුරුගේ පාලනයෙන් මිදීගොස් පෙරළී ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.
රියැදුරු ඇතුළු රෝහල්ගත කෙරුණු සියලු දෙනාගේ තත්ත්වය බරපතළ නොවන බවද පැවැසේ.
මේ පිළිබඳව වත්තේගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එච්. ආර්. ඒ. ඒ. ගුණසේකර මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආනන්ද ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්