රොසලින් නෝනා මහත්මිය පාර්සලයක් ජනාධිපතිතුමියට පිරිනැමුවේ මැඩම් යන ගමන් කන්න අළුවා කෑලි ටිකක් කියමිනි. ජනාධිපතිතුමිය බෙහෙවින් ඇයට ස්තූති කර ඒ පාර්සලය තම අත්බෑගයේ දාගත්තේ ” ඇත්තටම මම යන ගමන් කනවා. ඔයාගේ අළුවා හරිම රසයි” කියමිනි.
උතුරු නැගෙනහිර ත්‍රස්තවාදී යුද්ධය පැවැති සමයේ ත්‍රස්තවාදීන්ගේ තර්ජනයට ලක්ව තිබුණු ඓතිහාසික දීඝවාපිය ගමට නිල නායකත්වය සපයමින් ගම්වාසීන්ගේ කුදුමහත් කටයුතු සියල්ලම අප්‍රමාදව රජය සමග සම්බන්ධීකරණය කරමින් දීර්ඝ කාලයක් අනුපමේය මෙහෙවරක් දීඝවාපි ගමට හා ජනතාවට සිදු කළ විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීනි කේ. රොසලින් නෝනා මහත්මිය අභාවප්‍රාප්ත වූ බව මට දැන ගන්නට ලැබුණි. ග්‍රාම නිලධාරි සේවාවට පැමිණි මුල්ම කාන්තා කණ්ඩායමට අයත් වූ ඒ මහත්මිය එම සේවාවට අන්තර්ග්‍රහණය වූයේ කෘෂි ව්‍යාප්ති සේවකයෙකු ලෙස අම්පාර මල්වත්ත ගොවිපළෙහි සේවය කරමින් සිටිය දී 1989 වසරේ දී ය. කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, ලෙවන්ගම, තලවත්ත ග්‍රාමයේ උපන් රොසලින් නෝනා මහත්මිය රාජ්‍ය සේවයට සම්බන්ධ වුණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාප්ති සේවිකාවක් ලෙසය. කෘෂි ව්‍යාප්ති සේවිකාවක් ලෙස නුවරඑළිය ප්‍රදේශයේ සේවය කරමින් සිටි ඇය 1977/78 වකවානුවේ අම්පාර මල්වත්ත ගොවිපළට ස්ථාන මාරුවක් ලබාගත්තා ය. එවක සිට මල්වත්ත ගොවිපළේත් අම්පාර කෘෂි ව්‍යාප්ති කාර්යාලයේත් සේවය කරමින් සිටි ඇයට රජයේ තීරණය මත ග්‍රාම නිලධාරි සේවාවට අන්තර්ග්‍රහණය වන්නට සිදු විය. රොසලින් නෝනා මහත්මිය මුල්වරට මට මුණගැසෙන්නේ මෙසේ ග්‍රාම නිලධාරි සේවාවට අන්තර්ග්‍රහණය වූ අම්පාර දිස්ත්‍රික් කෘෂි ව්‍යාප්ති සේවකයන් ග්‍රාම නිලධාරීන් ලෙස පුහුණු කිරීමට එවක අම්පාර කච්චේරියේ උප දිසාපතිවරයා ලෙස සේවය කළ මට සිදුවූ අවස්ථාවේ දීය.
දීඝවාපිය ගමේ ග්‍රාමසේවක නෝනා

ගමක් භාරව එයට නායකත්වය දෙමින් රාජ්‍යය සමග සම්බන්ධීකරණය කටයුතු කිරීම ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරයේ ආරම්භක යුගය දක්වා වූ ඉතිහාසයක් සහිත සිද්ධියකි. නමුත් කිසි දිනක කාන්තාවක ගමක් භාරව ක්‍රියා කළ බවක් දැනගන්නට නොතිබුණි. එනිසාම එවක උප දිසාපතිවරුන් වූ අපට ද කෘෂි ව්‍යාප්ති සේවිකාවන් ලෙස කටයුතු කළ කාන්තාවන් ගමක් භාරව ග්‍රාම නිලධාරි කම කරන්නේ කෙසේද? යන්න බලවත් ප්‍රශ්නයක්ව පැවතුණි. ඒ කෙසේ වුවද ඒ වන විට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සියලුම කෘෂි ව්‍යාපෘති සේවක සේවිකාවන් ග්‍රාම නිලධාරින් ලෙස අනුයුක්ත කර අවසන් ය. ඒ නිසා එතුමන්ගේ ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැකි බව සිහිකරමින් අනිකුත් නිලධාරීන් ද සමඟ ඒ කාන්තාවන් කිහිපදෙනාට ද ග්‍රාම නිලධාරි පුහුණුව ලබාදීම නොඅඩුව සිදු කිරීම අපට භාරව තිබුණි. මට මතක හැටියට එවක අම්පාර දිස්ත්‍රික්කයේ කාන්තා නිලධාරිනියන් සිටියේ කීපදෙනෙකි. ඔවුන් පුහුණුව නිම කර උප දිසාපති කොට්ඨාසවලට අනුයුක්තව වසම් භාරව කටයුතු කිරීම ආරම්භ කරන ලදී. ටික කාලයකින් කිසිදු ගැටලුවක් නොමැතිව ග්‍රාම නිලධාරිනියන් තම වසම්වල රාජකාරි කිරීම අප කාටත් පුදුම දනවන සිද්ධියක් විය. මෙය එවක තරුණ පරිපාලන සේවා නිලධාරීන් වූ අපට වෘත්තීය හා රාජකාරීමය පරිචයක් ලබාගැනීමට ද බෙහෙවින් ඉවහල් විය.
රොසලින් නෝනා මහත්මිය අයත් වූයේ ඒ අන්දමට ග්‍රාම නිලධාරි සේවයට පිවිසි පුරෝගාමී කාන්තා කණ්ඩායමට ය. ග්‍රාම නිලධාරිනියක ලෙස අම්පාර දමන උප දිසාපති කොට්ඨාශයේ සේවය ආරම්භ කළ ඇයව කලක් එහි සේවය කළ පසු දීඝවාපිය ගමේ සේවයට අනුයුක්ත කරන ලදී. දීඝවාපි ගම අම්පාරේ විශේෂිත ගමකි. ඒ එය මෙරට ප්‍රමුඛතම බෞද්ධ සිද්ධස්ථානයක් වන දීඝවාපි චෛත්‍යය පිහිටා ඇති ගම නිසා ය. එසේම දීඝවාපි ගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනකට මායිම්ව පිහිටා තිබීම ද සුවිශේෂී පිහිටීමක් වෙයි. නැගෙනහිර මායිම සම්මන්තුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මායිම වන අතර උතුරු මායිම වන්නේ ඉරක්කාමම් ප්‍රාදේශීය කොට්ඨාශයේ මායිම හා අක්කරපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මායිමයි. වයඹ හා බටහිර පැත්තෙන් කොටසක් ද අක්කරපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට මායිම් වන දීඝවාපිය ගම පිහිටා ඇත්තේ අඩ්ඩාලචේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ය. මා දන්නා පමණින් ලංකාවේ ඇති දිගින් වැඩිම ගමත් දීඝවාපිය ගමයි. එහි දකුණු කෙලවරේ පිහිටි ඓතිහාසික දීඝවාපි චේතිය අයත් දීඝවාපි රජමහ විහාරස්ථානයේ සිට උතුරු මායිමේ නොරොච්චෝල ඇළ දක්වා ගුවන් දුර කිලෝමීටර් 10කට වැඩි ය. මාර්ගයේ මේ දුර කිලෝමීටර් දොළහක් පමණ වේ. මේ සා විශාල ගම දීඝවාපි 1 හා 2 ලෙස ග්‍රාම නිලධරි වසම් දෙකකට බෙදා ඇත. රොසලින් නෝනා මහත්මියට බොහෝ විට සිදුවූයේ මේ වසම් දෙකේම රාජකාරී කිරීමට ය. අඩ්ඩාලචේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එකම සිංහල ගම වූ දීඝවාපියේ ග්‍රාම නිලධාරි ලෙස ඇය එම කාර්යාලයට අයත් එකම සිංහල නිලධාරිනිය ද වූවා ය. දීඝවාපි ගම්වැසියන්ගේ මෙන්ම අඩ්ඩාලචේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු සියලුම නිලධාරීන්ගේ සිත් දිනාගනිමින් රොසලින් නෝනා මහත්මිය සිය රාජකාරිය මැනවින් ඉටුකළා ය. ගම්වාසීන් කිසිවකුගෙන් රොසලින් නෝනා මහත්මියගේ රාජකාරි ගැන කිසිදු පැමිණිල්ලක් නොවීය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියට කැවිලි පාර්සලයක්

ඒ තම රාජකාරිය ජනතා අවශ්‍යතා මත බද්ධ කිරීමට ඇය තුළ පැවති සුවිශේෂ ප්‍රතිභාව නිසා ය. දීඝවාපි විහාරාධිපතිව එවක වැඩ සිටි නන්නපුරාවේ බුද්ධරක්ඛිත නාහිමියන් කවුරුවත් කියන දේට අනුගත වන අයෙක් නොවේ. උන්වහන්සේගෙන් හොඳ නමක් අසා ගැනීම ද ලෙහෙසි නැතත් රොසලින් නෝනා ග්‍රාම නිලධාරි තුමිය උන්වහන්සේගේ පවා සිත් දිනාගෙන රාජකාරි කිරීමට සමත් වූවා ය. වරක් උන්වහන්සේගේ ඉල්ලීමක් පරිදි ෆෙරියල් අෂ්රෆ් අමාත්‍යතුමිය නැගෙනහිර සංවර්ධන අමාත්‍යවරිය ලෙස ඉදිකර දුන් ධර්ම ශාලාව විවෘත කිරීම සඳහා එවක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය දීඝවාපි විහාරස්ථානයට පැමිණීමට නියමිත වූයේ 2004 වර්ෂයේදී ය. උත්සව සංවිධාන කටයුතු අමාත්‍යංශය වෙනුවෙන් පැවරුණේ එවක එහි සේවය කළ මා වෙතය. ජනාධිපති තුමියට එල්ටීටීඊ සංවිධානයෙන් දැඩි ජීවිත තර්ජනයක් එල්ල වී තිබුණු බැවින් ආරක්ෂක අංශවලින් ඉතාම දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් සංවිධානය කර තිබුණි. කවර හේතුවක් නිසාවත් පැයකට වඩා ජනාධිපතිතුමියව ඒ ස්ථානයේ රඳවා නොගන්නා බව ජනාධිපති ආරක්ෂක අංශය කියා තිබුණි. දීඝවාපි විහාරස්ථානය වටකර ආරක්ෂක වළලු දෙකක්ද ඊට කිලෝ මීටර් 12කට එපිටින් තවත් ආරක්ෂක වළලක්ද සකසා තුබුණේ ත්‍රස්තවාදී කාලතුවක්කු ප්‍රහාර පිළිබඳව තිබුණු අවදානම නිසා ය.
උත්සවය අවසානයේ ජනපතිතුමිය සඳහා තේපැන් සංග්‍රහයක් සූදානම් කිරීමට රස කැවිලි සපයා ගැනීම ගැටලුවක් විය. ඒ ඒවා ආරක්ෂිත පරිසරයක සකසා ගත යුතු වූ බැවිනි. රොසලින් නෝනා මහත්මිය ඒ කාර්ය සිය කැමැත්තෙන්ම භාරගත්තා ය. ජනපති ආරක්ෂක අංශය විසින් එය අනුමත කරන ලදී. ඇය සිය නිවසේදීම තමන්ට විශ්වාසදායි කාන්තාවන් කීපදෙනෙකු ද එක් කර ගනිමින් සියලුම රස කැවිලි වර්ග පිළියෙල කර රැගෙන විත් දර්ශනීය තේපැන් සංග්‍රහයක් සූදානම් කළාය. මේ වෙනුවෙන් වියදම් වූ මුදල උත්සව වියදම්වලින් පියවීමට ඉඩ තිබුණත් රොසලින් නෝනා මහත්මිය ඒ වෙනුවෙන් මුදල් ගැනීම ප්‍රතික්ෂේප කළාය.. “මගේ වසමට රටේ ජනාධිපතිතුමිය එනකොට මම තේ ටිකක්වත් දෙන්නෙ නැතුව කොහොමද සර්?” ඇය මගෙන් විමසුවාය. මම ඒ බවත් අපේ ෆෙරියල් අෂ්රෆ් ඇමැතිතුමියට පැවසීමි. අපේ ඇමැතිතුමිය ජනාධිපති තුමියට ග්‍රාම නිලධාරී රොසලින් නෝනාව හඳුන්වා දුන්නේ මේ තේපැන් සංග්‍රහය ඇයගේම එකක් බව ද කියමිනි. ජනාධිපතිතුමිය සිනාසෙමින් ග්‍රාම නිලධාරිතුමියගේ අළුවා ඉතාම රස බව කියමින් අළුවා කෑලි දෙකක්ම රසවින්ඳා ය. පසුව ග්‍රාම නිලධාරිනිය සමග බොහෝ කුළුපගව දීඝවාපියේ බිම් මට්ටමේ තොරතුරු විමසූ ජනාධිපතිතුමිය පිටත්ව යන්නට හදද්දී රොසලින් නෝනා මහත්මිය පාර්සලයක් ජනාධිපතිතුමියට පිරිනැමුවේ මැඩම් යන ගමන් කන්න අළුවා කෑලි ටිකක් කියමිනි. ජනාධිපතිතුමිය බෙහෙවින් ඇයට ස්තූති කර ඒ පාර්සලය තම අත්බෑගයේ දාගත්තේ ” ඇත්තටම මම යන ගමන් කනවා. ඔයාගේ අළුවා හරිම රසයි” කියමිනි. ජනාධිපතිවරයෙකු ග්‍රාම නිලධාරියෙකු සමග එතරම් සමීපව කුළුපගව කතාබහ කරනු මගේ රාජ්‍ය සේවා කාලය තුළ මම නුදුටුවෙමි.
මළ මිනියක් ළඟ කළුවරේ
මා අම්පාර දිසාපතිවරයා ව සිටි සමයේ දිනක් සවස හතට පමණ රොසලින් නෝනා මහත්මියගෙන් මට දුරකථන ඇමතුමක් ලැබුණි. ඇය මට දැනුම් දුන්නේ එදින හවස 5.30 ට පමණ වන අලි ප්‍රහාරයකින් තම වසමේ අයෙකු මියගිය බවත් ඒ මරණයේ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් ගෙන්වා ගැනීමට මගේ සහය ඇයට අවශ්‍ය බවත් ය. ඒ පිළිබඳ ව විස්තර විමසද්දී ඇය කියා සිටියේ තවමත් වන අලි රංචුව ගම අසල ගැවසෙන බැවින් පලවා හැරීමට වන ජීවී නිලධාරින් ද එවන ලෙස ය. එවක ඇය ජිවත් වූයේ ඇයගේ ස්වාමිපුරුෂයා සේවය කළ එරගම උළු කම්හලේ නිල නිවාස වලය. ඒ ස්ථානයේ වන අලි රංචුවක් සිටින්නේ කෙසේ දැයි මට මහත් ගැටලුවක් ඇතිවී ඒ ගැන විමසූවෙමි. එවිට ඇය පැවසුවේ තමා දැන් ඉන්නේ අලි ප්‍රහාරයෙන් මියගිය තැනැත්තාගේ මෘත ශරීරය ඇති ලඳු කැලෑබද ස්ථානයේ බවය. “තව කට්ටිය කවුද ඉන්නේ” කියා මා ඇසූ විට “කට්ටිය දෙතුන් දෙනෙක් හිටියා ඒ අයව ගමට යැව්වා පෙට්‍රෝල් මැක්ස් එකකුයි හට් එකකුයි ගේන්න. දැන් නම් මම විතරයි ඉන්නෙ” කියා පිළිතුරු ලැබිණ. “ඉතින් මනුස්සයො එළියක්වත් නැතුව තනියම ඔය මළ මිනියක් ළඟ කළුවරේ ඉන්නෙ පිස්සුදැ”යි මම මදක් කේන්තියෙන් ඇසුවෙමි. “සර් පොලිසිය එනකම් මෙතන මට ඉන්න වෙනවනෙ. වෙන කවුරු හරි තියල බෑනෙ. කට්ටිය එනකම් මට පෝන් එකේ ලයිට් එකෙන් උන්න හැකියි” ග්‍රාම නිලධාරි රොසලින් නෝනා මහත්මියගේ පිළිතුර විය. තම වසම තුළ මෘත ශරීරයක් හමු වූ විට ග්‍රාම නිලධාරිවරයෙකු කළ යුතු රාජකාරිය අප ඇගේ පුහුණු කාලය තුළ කියා දී තිබුණත් එහි බැරෑරුම් බව මට ද හරිහැටි වැටහුණේ එවිට ය. මම වහාම පොලිස් අධිකාරිට හා වන ජීවී සහකාර අධ්‍යක්ෂට කතා කර අවශ්‍ය නිලධාරින් පිටත් කළෙමි. ඒ අපේ ග්‍රාම නිලධාරි රොසලින් නෝනා මහත්මියගේ රාජකාරියට තුබූ කැප කිරීම ය.
කේ රොසලින් නෝනා බඳු පුරෝගාමී කාන්තා ග්‍රාම නිලධාරීන් ඉටු කළ ඒ විශිෂ්ට මෙහෙවර නිසා රජයට ග්‍රාම නිලධාරි වෘත්තියට කාන්තාවන් යෙදවීම අතිශය සුදුසු බව පෙනී ගියේ ය. එනිසාම කෙලින්ම ග්‍රාම නිලධාරි වෘත්තියට කාන්තාවන් බඳවා ගැනීම ඇරඹුණි. වර්තමානයේ ග්‍රාම නිලධාරි වෘත්තියේ නියැලෙන ග්‍රාම නිලධාරිනියන් මෙන්ම අනාගතයේ ඒ වෘත්තියට එක්වන කාන්තාවන් ඇතුළු කාටත් මඟ හෙළි කළේ කෘෂි ව්‍යාපෘති සේවක රැකියාවෙන් අන්තර්ග්‍රහණය වුණු පුරෝගාමී ග්‍රාම නිලධාරිනියන් බව කිව යුතු ය. දීඝවාපියේ කේ. රොසලින් නෝනා නම් වූ විශිෂ්ට ග්‍රාම නිලධරිනිය අන්න ඒ පුරෝගාමී නිලධාරිනියන්ගේ ඉදිරියෙන්ම සිටි කෙනෙකි. ඇය ග්‍රාම නිලධාරි වෘත්තියේ නිපුණ මහජන හිතකාමී අවංක කැපකිරීමෙන් රාජකාරි කළ දක්ෂතම නිලධාරිනියකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කේ. රොසලින් නෝනා යනු පරමාදර්ශී රාජ්‍ය නිලධාරිනියකි. මගේ මතකයේ හැටියට එතුමිය 2009 වර්ෂයේ විශ්‍රාම ලැබුවා ය. පසුව මඳක් අසනීපයෙන් පසුවූ ඇය මියයන විට වයස වසර හැත්තැහයක් විය. මෙරට ග්‍රාම නිලධාරිනියන් හමුවේ පහන් ටැඹක් වූ එතුමියගේ නම කෙසේ වෙතත් රාජකාරීමය විශිෂ්ටත්වය නම් කිසිදා මිලිනව නොයනු ඇත.
සුනිල් කන්නන්ගර
කොළඹ – රත්නපුර- අම්පාර
හිටපු මහ දිසාපති