හමුදා කඳවුරක් පිහිටි ගමක් සුන්බුන් කළ වැවක් කියන කතාව…
කල්මඩුව වැවේ මහපොළොව අහස් තලයට කරන අභියෝගය…
අර කියන්න වගේ ඒක හරි ලස්සන වැවක්. නමින් කල්මඩුව වැව. එහෙම කිව්වට ඒ පැත්තෙ කවුරුවත්ම දන්නේ නැතුව ඇති. ඒ මොකද එහේ උදවිය ඒ වැවට කට පුරාම කිවුවේ කල්මඩුකුළම කියලනේ.
කල්මඩුව වැව තියෙන්නේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ මුලතිව් පැත්තට වෙන්න. කිලිනොච්චියෙ ඉඳල ඉද්ද ගැහුවාක් මෙන් යාපනය පැත්තට දිවෙන A – 9 මාර්ගය ඔස්සේ ටික දුරක් ගිහින් හමුවන පරන්තන් හන්දියෙන් දකුණට හැරුණාම අපි යන්නේ මුලතිව් පාරෙ.
ඒ පාරේ ඔන්න වැඩි දුරක් නෑ. මගින් හමුවන පුංචි හන්දියකින් දකුණට හැරිලා කාපට් පාර ඔස්සේ ඉදිරියට යනකොට දෙපැත්තෙන්ම හමුවන්නේ සරුසාර කුඹුරු සහ ගෙවතු. එක්කෝ පොල්. වැඩිපුරම තිබුණේ ඈතට ඈතට පේන කුඹුරුවල නිල්ල වැදීගෙන පීදෙන්න ඔන්න මෙන්න තියෙන සරුසාර ගොයම්. මෙන්න මේ කෙත් වතු යාය පහු කරමින් ඉදිරියට යන විට අපිට හමුවුණේ ධර්මපුරම් කියන ගම. ඒක විශාල ගමක්. ගම ඉහත්තෑවේ මුදුණෙන්ම වැව. වන්නි වනපෙතේ අපේ වැව් ගම්වල ආකෘතිය දැක්කද..
හිටිහැටියේ මේ හදිස්සියේ අපි මේ කල්මඩුකුළම වැව බලන්න යන්න එක්තරා හේතුවකුත් තිබුණා. මේ වැව 2009 ට පෙර අපේ රටේ පැවැති යුද්ධය නිසා විනාශ වෙලා වනාන්තරයට යටපත් වෙමින් තිබුණු වැවක්. යුද්ධයෙන් රට මුදාගෙන උතුරු නැගෙනහිර පළාතේ කරපු ප්‍රතිසංස්කරණ කටයුතු අස්සේ මේ වගේ වැව් සිය ගණනක් පිළිසකර වුණා. මතක ඇතිනේ උතුරු වසන්තය. ඔව්… ඒක යටතේ උනත් කල්මඩුව වැවට හරිහැටි වසන්තය උදාවුණේ නෑ. ඒ වැවෙන් වතුර අරන් දෙකන්නයම ගොවිතැන්බත් කරන ජනතාවට හරි හැටි සාධාරණය ඉටු වුණේ නෑ…

ඔන්න ඔය අඩුපාඩුව පුරවන්න තමයි ලෝක බැංකු ආධාර යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවයි උතුරු නැගෙනහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවයි එකතු කරගෙන ඒකාබද්ධ ජලාධාර හා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය පටන් ගැනුනේ. හැබැයි මේ ව්‍යාපෘතිය ලංකාව පුරා විසිරුණු එකක්. අපේ රටේ වාරි සම්පත කළමනාකරණය කිරීමේදී කාලයක් තිස්සේ සිදුවුණු අඩුපාඩු හා දුර්වලතා නිසා අපතේ යන ජල සම්පත රැකගෙන මහජනතාවට තව තවත් සේවාව පුළුල් කරන්න මේ ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව අරඹලා තිබුණු වැඩපිළිවෙළ හරි දැවැන්තයි. අපි එදා ගිහිල්ලා තිබුණේ ඒ ව්‍යාපෘතිය යටතේ පිළිසකර කෙරුණු උතුරු නැගෙනහිර පළාතේ හොඳම ව්‍යාපෘතිය දකින්න.
දැන් ඒක පේන්නේ අලුතින් වැව් බැම්ම හදලා, ඒ වැව් බැම්මේ අලුතෙන් පිඩලි අල්ලලා, අලුතින් රළපනාව සකස් කරලා, අලුතින් වතුර පුරවලා, අලුතින් සොරොව් නිමවලා ඒ සොරොව්වලින් ගන්න වතුර අලුතින් නිමවපු ඇළ පද්ධතියක් ඔස්සේ කුඹුරුවලට සපයන අලුත් වැවක් විදියට තමයි. හැබැයි ඒක උතුරු නැඟෙනහිර ඉරණමඩු වගේම වැව් පද්ධති තරමටම පැරැණිය කියල කිව්වොත්…
නොව පැරණිය වන රමණීය විටින් විට… මට මතක් වුණේ සැළලිහිණියේ එන කවි පදයක්. වැවේ ඉහත්තෑවේ ඈතින් ඈත පෙනුනෙ මහා ඝන වනාන්තරය. ඒ තමයි උතුරු පළාතේ ආඩම්බරය. එහෙමත් නැත්නම් උතුරු පළාතට සිසිල සෙවන සුවදායක බව නිරතුරුව සපයන දැවැන්ත මුලතිව් මහ කැලය. වැහි කාලෙට මේ මහ කැලයේ තෙත් කරන වැස්සෙන් වෑහෙන දියකදුරු ඔස්සේ උතුරු පළාතට ගලාගෙන යන ජලය බැස යා නොදී රැකගන්න හදපු වැව් පද්ධතියෙන් එක වැවක් තමයි කල්මඩුව. කල්මඩුව දෙවැනි වුණේ ඊට සමාන්තරව බටහිර පැත්තෙන් තිබුණු උතුරේ මහා ජලාශය වන ඉරණමඩු වැවට විතරයි. ඒ දෙක හැරුණාම මුලතිව් මහ කැලයෙන් පෝෂණය වන විශ්වමඩුකුලම්, උඩයාර්කට්ටු කුලම්, කුරුවිල් කුලම්, මර්තමඩුකුලම් වගේ තවත් වැව් පද්ධතියක් කල්මඩුවට සමාන්තරව නැඟෙනහිර පැත්තේ විහිදිලා තිබුණා.
උතුර නැඟෙනහිර යුද සමයේත් මේ වැව් අකර්මණ්‍ය වුණේ නෑ. කිලිනොච්චියෙන් පටන් ගෙන සහල් නැළිය පැත්තට විහිදිලා යන මහ කුඹුරුයායත් වඩ්ඩකච්චි, රාමන්තපුරම්, ධර්මපුරම්, විශ්වමඩු, පුලියන්පොක්කානි, වේළිකණ්ඩල් ගම්මාන හරහා මුලතිව් පැත්තට දිව යන මහ කුඹුරු යායවලුත් කරදරයක් නැතුව යුද සමයේත් අස්වැද්දුවේ මේ වැව් පද්ධතිය ලෝභ නැතුව මුදා හරින මුලතිව් කැලයේ සාරවත් ජල සම්පතෙන්ම තමයි. ත්‍රස්තවාදීන්වත් රජයේ හමුදාවන්වත් ඒ වැව්වලින් ගොවියන්ට වතුර දෙන එකට බාධාවන් ඇති කළේ නෑ. අවහිර කළේ නෑ. හැබැයි ඉතින් ත්‍රස්තවාදින් වෙනත් විදියකින් ඒ පළාත්වල ගොවිතැන්බත් කරගෙන අහිංසකව ජීවත් වෙන තමන්ගෙම ජාතියක මිනිස්සුන් පාලනය කළා… ඒවා හුඟක් පරණ කතා. අද වෙනකොට ඒ මිනිස්සුන්ටත් මතක නැති තරම් අමිහිරි කතා.
හැබැයි ත්‍රස්තවාදින් එක තීරණාත්මක තැනකදී ඔය ප්‍රතිපත්තිය කැඩුවා. ඔය විනය කඩාබිඳ දැම්මා. කල්මඩුව වැව ගැන කතා කරනකොට ඔන්න ඔය පරිච්ඡේදය ගැන නම් කතා නොකරම බෑ. ඒ මොකද කල්මඩුව වැවේ කතාව තියෙන්නෙ අන්න එතන.
කිලිනොච්චිය කියන්නෙ කොටි සංවිධානයේ නිල නොලත් අගනුවර බව නොදන්නා කෙනෙක් නෑ. මුළු පළාතම පාලනය කළේ කොටි. වෙනම බැංකු, වෙනම මුදල්, වෙනම පොලීසි, වෙනම පරිපාලන රටා ඒ ප්‍රදේශවල තිබුණා. ඔන්න ඔය අතරෙ තමයි මාවිල්ආරු සොරොව්වේ ප්‍රශ්නෙත් එක්ක අවසන් සටන ආරම්භ වෙලා තිබුණේ. අවසන් සටනේ හමුදා බල ඇණි ඒ මේ පැතිවලින් කිලිනොච්චිය වටකරද්දි ධර්මපුරම් ගම්මාන ප්‍රදේශයේත් කඳවුරුලාගෙන හිටියා. ඔය කාලෙ වන විට ධර්මපුරම් ඇතුළු අවට තිබුණු හැම ගමකම ගෙවල් දොරවල් අත ඇරල සාමාන්‍ය මිනිස්සු පිළිසරණ පතා තැන් තැන්වල කොටුවී හිටිය බව රහසක් නෙවෙයි නේ. වැඩිපුරම සෙනඟක් හිටියේ මුලතිව් පැත්තට ගිහින්. ඔව් ඉතින් ඒ කාලේ ඒ හැරුණාම ඔවුන්ට වෙන කාගේ පිහිටක්ද…

තමන්ගෙ පරිපාලනයේ හදවත කිලිනොච්චිය එහෙන් මෙහෙන් හමුදාව වට කරන කොට කොටි සංවිධානයත් නිකං බලා හිටියේ නෑ. හැකි හැම අයුරකින්ම ප්‍රතිප්‍රහාර එල්ල කළා. ඔය වෙලාවෙ තමයි ඔවුන්ට හිතුනෙ කල්මඩුව වගේ අතිවිශාල වැවක වැව් බැම්ම කඩලා ඊට පහළින් තිබෙන ගම්මාන වතුරෙන් යට කරලා හමුදාවන්ගේ ඉදිරි ගමන වළක්වන්න. කිලිනොච්චිය බේරගන්න ඇත්තටම ඔවුන් වෙන මොනවද නොකළේ.
කල්මඩුව වැවේ ඉහත්තෑවෙන් මුලතිව් මහ කැලයේ සිට විශේෂ පුහුණුවලත් ත්‍රස්තවාදින් පිරිසක් මහරාත්‍රියේ බෝට්ටුවලින් වැව් බැම්ම වෙත පැමිණියා. බිඳ දමන්න තෝරගත්තේ මහවැවේ මර්ස්ථානය. ඒ කිව්වේ සොරොව්ව. කිමිදුම්කරුවන් ඒ සොරොව්වේ ගැඹුරුම තැන, පීඩනය වැඩිම තැන පුපුරන ද්‍රව්‍ය තැන්පත් කළා.
උපක්‍රමශීලීව වැව් බැම්ම පුපුරවා හරින්න ඔවුන් සැලසුම් කළේ වැවට පහළින් ගම්මානවල වාඩිලාගෙන සිටින හමුදා සේනාංක ගිමන් හරින වෙලාව. ඒ කිව්වේ මධ්‍යම රාත්‍රිය පහුවෙලාත් පැය දෙකක් පමණ ගතවූ වේලාව. එහෙම වෙලාවක නින්දේ සහ අඩ නින්දේ පසුවන හමුදා භටයින් දහස් ගණනක් යට කරගෙන වේගවත් ජල කඳක් සිසාරා පැතිර ගියහොත්… අඩි හත අටක් උස ජලකඳක්…
ඔව්… ඒක මහ ව්‍යසනයක්. ත්‍රස්තවාදින් සැලසුම් කළ පරිදිම ඒ මහා විනාශය සිදුවුණා. හමුදා සාමාජිකයන් බොහෝ පිරිසක් නිදි පැදුරේම අවසන් ගමන් ගියා. මෙවන් ව්‍යසනයකට මුහුණ දෙනාම සුවිශේෂී පුහුණුව ලත් හමුදා භටයෝ සිය ගණනක් ජලරකුසා හා පොර බදන්න පටන්ගත්තා. ධර්මපුරම්වලට පහළින් වැඩිමනක් තිබුණේ ගොවිබිම් නිසා ගොඩවන්නට ගහක් ගලක් හොයා ගැනීමත් වාසනාවක් වගේ දෙයක් වුණා.
ඒත් මොන… කුඹුරු බිමේ පිහිනා ගොස් යාන්තමින් ගහක් පඳුරක් අල්ලාගෙන ඊට ගොඩ වුණත් ඒ වාසනාව භුක්ති විඳින්න ත්‍රස්තවාදීන් කොහොමටවත් ඉඩ සලසා දුන්නේ නෑ. බෝට්ටුවල නැග ගත් කොටි සෙබළ සෙබළියන් තුවක්කුවලට අමතර කඩු මුගුරු ගෙන එසේම ජීවිතයත් මරණයත් අතර සටන් වදින සෙබළුන් ඉලක්ක කරගෙන දැවැන්ත සංහාරයක් ආරම්භ කළා.
ඒ සටනින් ජීවිතය බේරාගත් රණවිරුවෙක් (කෝප්‍රල් ඉරේෂ් චතුරංග) කල්මඩු ප්‍රහාරය ගැන කියන කතාව ඇවැසි නම් කෙනෙකුට “වෙනස ටී වී යූටියුබය” ඔස්සේ දැක බලා ගන්නත් බැරි නැහැ. ඊට ඉඩ තබමින් ඔන්න අපි ආයෙත් කල්මඩුව වැවේ වර්තමානය වෙත එන්න කල්පනා කළා.
“කල්මඩුව කියන්නේ ඉරණමඩුවට පස්සේ උතුරෙ ගොවි බිම්වලට වතුර දෙන විශාල ජල ධාරිතාවක් තියෙන වැව. ඒ බැව් හඳුනාගත්ත වාරිමාර්ග දෙපාර්තමේන්තුව උතුරු වසන්තය යටතේ මේ වැව පිළිසකර කරන්න පටන් ගත්තා. පුපුරවා හැරපු සොරොව්ව සකස් කරලා වැව් බැම්ම හැදුවා. ඒත් ඒක සාර්ථක වුණේ නෑ. ත්‍රස්තවාදීන් පුපුරවලා තිබුණේ වැවේ ගැඹුරුම තැන, පීඩනය වැඩිම තැන වැව් බැම්ම නිසා අලුත්වැඩියාව පහසු වුණේ නෑ. වතුර කාන්දු වෙන්න ගත්තා. වැව පිරෙන්න පිරෙන්න කාන්දුව විශාල වුණා. අන්තිමේ සොරොව්වෙන් එළියට යනවාට වඩා වැඩි වතුර ප්‍රමාණයක් කාන්දු හිදැස අතරින් එළියට ගලා ගියා… ඇත්තටම අපි මෙන්න මේ තත්ත්වයේ තිබුණු වැව පිළිසකර කරන්න භාර ගැනීමම එක්තරා විදියක අභියෝගයක්…” එහෙම කියල වැව ගැන කතා කරන්න පටන් ගත්තේ කල්මඩුව වැවේ ව්‍යාපෘතිය භාරව ඉන්න වාරිමාර්ග ඉංජිනේරු කේ. කරුණානිධි මහත්තයා.
ඒත් කොහොමද උතුරු වසන්තයටත් බැරි වුණ මේ මහ වැවේ කාන්දුව නතර කරන්නේ. ව්‍යාපෘතිය 2022 භාර ගන්න කොට ඉංජිනේරු මහත්වරුන්ට පිටක් පොටක් බේරගන්න බැරුව තිබුණ ලොකුම අර්බුදය ඒක. ඒක ඉතින් අර්බුදයකට වඩා අභියෝගයක්. හැබැයි ඉතින් තාක්ෂණය තියෙන්නේ නම් ඒකට. සාමාන්‍ය ජනතාවගේ මට්ටමෙන් විසඳගන්න බැරි අර්බුද ජයගන්න තමයි තාක්ෂණය කියලා එකක් ලෝකයේ තියෙන්නේ… ඔය ගැන කතා කළේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිලධාරි ඒ. කේ. පතිරාජ මහත්තයා…
“මේ වැව් බැම්ම පතුලේ අඩියේ තිබුණු කාන්දුව වහන්න අපේ ඩෑම් විශේෂඥයෝ පාවිච්චි කළේ SBC කියන තාක්ෂණය. ඒ කියන්නේ වැව් බැම්ම ඔස්සේ අඩියට ගැඹුරු කැපුමක් හාරලා ඒ කැපුමේ සාවිය වැලි බෙන්ටොනයිට් හා සිමෙන්ති කියන ද්‍රව්‍ය අදාළ අනුපාතවලින් ගෙන හොඳින් මිශ්‍ර කරලා පිරවීම හා තෙරපීම. bentonite කියන්නෙත් ඉන්දියාවෙන් ගෙන්වන රසායනික පස් විශේෂයක්. අපේ රටේ මේ තාක්ෂණය මීට කලින් පාවිච්චි කරලා තියෙන්නේ ඉරණමඩු වැවේ කාන්දු වීමක් වහන්න විතරයි. දෙවැනි වතාවට මෙතෙන්දි පාවිච්චි කළා. අද වෙනකොට ඒක ඉතාම සාර්ථකයි.. මේ මිශ්‍රණය කොන්ක්‍රීට්වලට වඩා හයියයි. ඒවගේම ස්වාභාවික පස හා ඉතා හොඳින් සම්බන්ධ වෙනවා. ඊට අමතරව වැව් බැම්ම උස් කරල පළල් කරල රැළපනාව යොදලා පිඩලි අල්ලලා සකස් කරලා මේවන විට ජලය පිරවීම ආරම්භ කරලා ඉවරරයි. ඉරණමඩු වැවට පස්සේ මේ ප්‍රදේශයේ ගොවියන්ට වගාවට අවශ්‍ය ජලය දෙන්නෙ මේ වැව තමයි මූලිකත්වය ගන්නේ…”
නිලධාරින් එහෙම කියන කොට වැවෙන් තිබෙන ප්‍රයෝජනය ගැන අහගන්න අපට ඕන වුණේ ගම්වාසීන් එක්ක එක්ක කතා කරන්න. ගම්වාසීන් හිටියා තමයි. ඒත් ඒක ඒ තරම් ලේසි වැඩක් වුණේ නෑ. මොකද ඒ තමයි කිලිනොච්චිය. ඒ තමයි මුලතිව්. අපි හිතුවට එහේ සාමාන්‍ය ජනතාව අතරින් අතිවිශාල බහුතරයකට සිංහල බෑ. සමහර අය පුළුවන් වුණත් කතා කරන්නේ නෑ…
ඒ උනත් අපට හමුවුණ ක්‍රිෂ්ණසිංහම් සෙල්වම් අනිත් අයට වඩා ටිකක් අමුතු මිනිහෙක්. සිංහල කතා කරන්න පුළුවන් නිසාම නෙවෙයි. මනුෂ්‍යත්වයට ගරු කරන්නත් ඔහු හොඳට දන්න කෙනෙක් නිසා… සුහද නිසා. සෙල්වම්ලා පුංචි කාලෙ ඉඳලම පදිංචිය නැඟෙනහිර ධර්මපුරම් කියන ගමේ. කුඹුරු ගොවිතැන වතුපිටි වගාව ගව පාලනය වගේ හුඟක් දේවල් සෙල්වම්ලා කරලා. යුද්දෙට කලින් ඉතින් ඒ පැත්තෙ හිටපු අයගේ අණසකට යටත් වෙන්න කාටත් වෙන බවයි ඔහු කියන්නේ. ඒවා දිග කතා. දිග කතාවලට යන්න තවමත් සෙල්වම්ලා බයයි. හැබැයි අපි කළේ කෙටි කතා.
“දැන් අපිට දෙකන්නය වගා කරන්න හොඳට වතුර තියෙනව. මේ ව්‍යාපෘතිය ඉතාම සාර්ථකයි. වැව් බැම්ම හදලා වැව පිළිසකර කරලා දුන්නට පස්සේ වැහි කාලෙට දැන් ඉක්මනට වැව පිරිලා ඉතිරිලා යනවා. සැප්තැම්බර් මාසේ වහින්න පටන් ගන්නවා. වැස්ස මාස තුනයි. වැව ඉක්මනට පිරෙනවා. පළමු කන්නට හොඳටම වතුර ඇති. හැබැයි දෙවැනි කන්නට වතුර මදි වෙනවා. අපි කියන්නේ මේ වැවෙන් මීට වඩා ප්‍රයෝජනයක් ගන්න පිටවාන තව අඩි දෙකක් උස්සන්න. අපි ආණ්ඩුවට කියන්නේ ඒකයි. පිටවාන ඉස්සුවොත් තව විශාල ප්‍රමාණයක් රැස් කර ගන්න පුළුවන්. එහෙම නැත්තං අපරාදෙ ඒ වතුර වැහි කාලෙට අහක යනවා…”
සෙල්වම් ඒ කියන කතාව හරියටම වැදුනේ කල්මඩුව වැවේ ව්‍යාපෘතිය භාර නිලධාරීන්ට. එහි වැඩේ නම් කෙරෙන්නෙ නෑ කියලා තමයි ඔවුන් කියන්නේ. ඒ වුණාට ගමේ මිනිසුන්ගේ ඉල්ලීම. එක පාර ඉවත දාන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අපට මතු වුණා…
“ජනතාව බලන්නෙ ඒගොල්ලන්ගේ වගාවට සහ පාවිච්චියට අවශ්‍ය ජලය ගැන විතරයි. ඉතින් අපට මේ වගේ ව්‍යාපෘතියක් කරනකොට ඊට වඩා වැඩි පැති ගණනාවක් ගැන අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. අංක එක පරිසරය. අංක දෙක මේ වගේ ව්‍යාපෘතියකදී සංවේදී වන සත්ව හා ශාක ප්‍රජාව…
පිටවාන අඩි දෙකක් නෙවෙයි අඟල් දෙකක් ඉස්සුවොත් වැවේ ඉහත්තාවේ වතුරට යටවන භූමි ප්‍රදේශය ගැන සලකා බලන්න. අඟල් දෙකක් ඉස්සුවත් අක්කර දහස් ගණනක් යටවෙනවා. හරි දෙකක් කියල කියන්නේ මේ සංවේදී වනාන්තර කලාපයේ පරිසරයට විශාල හානියක් සිද්ධ වෙන ජලයට යට වීමක්. එතකොට වන සතුන් කොහේද ජීවත් වෙන්නේ. වන සතුන් කොහොමද කෑම කන්නේ. ඒ ජලයෙන් යටවෙන ප්‍රදේශයේ ශාක ප්‍රජාව අපට අමතක කරන්න බෑ.
වැදගත්ම කාරණාව තමයි මේ වගේ ලෝක බැංකු ආධාර යටතේ සිදුකරන ව්‍යාපෘතිවල පරිසර වාර්තාව. ඒ පරිසර වාර්තාවට අනුකූලව වැඩ කරනවා මිස ඊට පිටින් දශමයක්වත් එහාට යන්න මේ ව්‍යාපෘතිවලට බෑ. විශේෂයෙන්ම කියනව නම් පාරිසරික ප්‍රශ්න ගැන අපට වඩා ලෝක බැංකුවේ තිබෙන විධි නියාම හා තක්සේරුව ඉතාම සංවේදීයි.” අපිත් එක්ක ඔහොම කතා කළේ මේ ව්‍යාපෘතිවල පරිසර නිලධාරී කසුන් සේනාරත්න…

අපි දකිනකොටත් මේ වැවේ ජල ධාරිතාවය සම්පූර්ණ මට්ටමට පැමිණිලා නැහැ. උපරිම ජලධාරිතාවට වඩා මීටර් දෙක තුනක් පහතින් තිබුණත් ඒ ජලතලාවේ ඉහත්තෑවේ කෙළවර අපි දැක්කා. මුලතිව් මහා කැලය අපට පෙනුණේ ඉතාම ඈතින්. එසේ නම් සැප්තැම්බරයේ මහවැසි වැහෙන විට පිරී යන ජලයෙන් මහ වනාන්තරය අපෙන් තව කොයිතරම් දුරට ඈත් කරනු ඇත්දැයි මට හිතෙන්න පටන් ගත්තා.
කල්මඩුව වැව දැන් සැප්තැම්බරය වෙනතුරු බලාන ඉන්නේ සංතෘප්ත වෙන්න. මහ වැස්සෙන් මහ වනයට ඇද හැලෙන වර්ෂාවේ බර දරාගන්න. වැලේ ගෙඩි වැලට මහ බරක් නෑ කියන්නාක් සේ ඒ මහ වනයටම වැස්සත් එයින් වෑහෙන මහා දියකඳ දරාගන්නට ආත්ම විශ්වාසයක් හා ශක්තියක් තබාගෙන වැව් බැම්ම ප්‍රතාපවත්ව බලාගෙන හිටියා. ඇත්තම කියනවනං වැවක් කියන්නේ හදවතක්. ඒ හදවත දරාගෙන ඉන්නේ මහපොළව. හදවත ඉරිතලා යන්න ඉඩ දෙන්නෙ සොබාදහම. හදවතක් තෙතමනයෙන් පුරවාලන්නෙත් සොබාදහම. ඔන්න ඉතිං ඒ හදවතේ කවි පදය…
පුළුවන් නං වහින්න. මහ පොළොවට දැනෙන්න.
ප්‍රතාපවත් වැව් බැම්ම වැව් පිටියේ මහ වනයට විතරක් නෙවෙයි. අහසටත් අභියෝග කළේ එහෙමයි…
පුළුවන් නං වහින්න. මහ පොළොවට දැනෙන්න.
තවත් කොටසක් ලබන සතියේ
බුලිත ප්‍රදීප් කුමාර
පින්තූර – සංජීව සමරරත්න