සීතාවක ප්‍රාදේශීය සභාවේ රහස් ඡන්දයක් තියන්න
සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති ධුරවලට සුදුස්සන් පත්කිරීම සඳහා විවෘත ඡන්දයක් පවත්වන ලෙසට මන්ත්‍රීවරුන් බහුතරයක්, එනම් 24 දෙනකු ලිපියක් භාරදී තිබියදීත් එය නොතකා රහස් ඡන්දයක් පැවැත්වීමට පළාත් පාලන කොමසාරිස්වරිය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ලබන 07 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය දින නියම කළේය.
බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය පසුගිය 17 වැනිදා රහස් ඡන්දයක් පැවැත්වීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ගොනුකර තිබූ එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කැරවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය හා කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල එකී නියෝගය කළහ.
එකී තනතුරුවලට සුදුස්සන් තෝරා ගැනීම සඳහා සිය සභාව පසුගිය 17 වැනිදා කැඳවූ බවත් සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් බහුතරයක් එනම් 24 දෙනකු ලිඛිතව ඉල්ලීමක් කරමින් විවෘත ඡන්දයක් පවත්වන ලෙසට ඉල්ලීමක් කළ නමුත් පළාත් පාලන කොමසාරිස්වරිය රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කිරීම නිසා එම තීරණයට විරුද්ධත්වය දක්වමින් මන්ත්‍රීවරුන් 24 දෙනකු සභා ශාලාවෙන් පිටව ගිය බවත් සමගි ජන බලවේගය ඇතුළු පක්‍ෂ නියෝජනය කළ මන්ත්‍රීවරුන් එමගින් අභියාචනාධිකරණයට පෙන්වා දී තිබිණි.
පළාත් පාලන කොමසාරිස්වරියගේ එකී තීරණය මහජන මතයට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියාවක් බවත්, සභා මන්ත්‍රීවරුන් නියෝජනය කරනුයේ ප්‍රදේශයේ ජනතාව වන බැවින් එයට එකඟතාවය පළ කිරීම රාජ්‍ය නිලධාරිනියක වශයෙන් ඇයගේ වගකීම වන බවත් විනිසුරු මඬුල්ලට පෙන්වා දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ලබන 15 වැනිදා නැවත රැස්වීමට නියමිත සභා රැස්වීමේදී විවෘත ඡන්දයක් පැවැත්වීමට බලකරන නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. රහස් ඡන්දයක් පැවැත්වීමට පළාත් පාලන කොමසාරිස්වරිය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනා ලෙසට ද ජනාධිපතිවරයා විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක