නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට දමිළ ප්‍රගතිශීලි සභිකයන් 05 දෙනකුගේ සහයෝගය මත එම සභාවට සභාපතිවරයා වශයෙන් තේරීපත් වූ ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාට එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ලිපියක් ලබාදෙන ලෙසට ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රබලයන් දෙදෙනෙක් සිදු කරන තර්ජන සහ බලපෑම් හමුවේ සභාපතිවරයා සහ ජාතික ජන බලවේගයෙන් එම සභාව නියෝජනය කරන සියලුම සභිකයන් (06 දෙනකු) මින් ඉදිරියට එම සභාව තුළ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කළ බව එම සභාවේ පාලක පක්ෂයේ සභිකයන් පැවසීය.

මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ. එම්. කේ. පී. කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 27 දා නෝර්වුඩ් පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා නමක් ඉදිරිපත් කරන ලෙසට යෝජනා කර සිටියදී ලංකා කම්කරු කොංග්‍රසයෙන් එම සභාවේ හිටපු සභාපති කනපති කුලන්දවේල් රවී මහතාගේ නම ඉදිරිපත් කිරීමත් සමග ජාතික ජන බලවේගයේ නියෝජනය කරන සභිකයකු ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාගේ නම යෝජනා කිරීමට පියවර ගැණින.
එම සභාවට සභාපතිවරයකු තෝරාපත් කර ගැනීම සඳහා නම් දෙකක් ඉදිරිපත් වී ඇති නිසා සභාපතිවරයා තෝරා පත්කර ගැනීමට පැවති විවෘත ඡන්දයේදී ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත්වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා විවෘත ඡන්ද 12 කින් තේරීපත් වූ අතර ලංකා කම්කරු කොංග්‍රසයෙන් සභාපති ධුරය සඳහා ඉදිරිපත් වූ කනපති කුලන්දවේල් රවී මහතාට විවෘත ඡන්ද 07ක් ලැබුණි.
මෙම පත්වීමෙන් අනතුරුව ජාතික ජන බලවේගයෙන් එම සභාවට තේරීපත් වූ සභාපතිවරයාට සහ එම පක්ෂයේ අනෙකුත් සභිකයන්ට ජාතික ජන
බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක ඔවුන්ට දැඩි විරෝධය පාමින් පවසා ඇත්තේ “පක්ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීමට කිසිදු බලයක් ඔවුන්ට නොමැති බවත්, එම සභාවේ සභාපති ධූරය ලංකා කම්කරු කොංග්‍රසයේ යෝජනා කරන අයටත්, උප සභාපති ධුරය තම පක්ෂයට ලබා ගැනීමට එකඟතාවය පළකර සිටියදී විපක්ෂයේ සභිකයන්ගේ සහයෝගය ඇතිව සභාපති ධුරය ලබා ගැනීම පක්ෂයේ විනයට පටහැනි බවයි”.
දුෂණ වංචා නැතිකර බලය අවභාවිතා නොකරමින් නෝර්වුඩ් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාවක් ලබාදෙන බවට ජනතාවට පොරොන්දු වී ඡන්දය ලබාගෙන යළිත් එම සභාවට දූෂණ වංචා ගණනාවක් සිදුකර බලය අවභාවිතා කළ අයෙකු යළිත් සභාපති ධුරයට පත් කිරීමට ඉඩ ලබා නොදී තමන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ පාලන බලය ලබාගත් බව එම සභාපතිවරයා සහ සභිකයින් කියා සිටියහ.
තවද හැටන් දික්ඔය නගර සභාවට ජාතික ජන බලවේගයෙන් පත්කරන බවට පොරොන්දු වූ සභිකයාට සභාපති ධූරය ලබා නොදී වෙනත් අයෙකුට ලබා දීමට ජාතික ජන බලවේගයේ නුවරඑළිය ප්‍රබලයන් කටයුතු කළ බවත්, ඔවුන්ගේ එම ක්‍රියා කලාපය හේතුවෙන් අඹගමුව සහ මස්කෙළිය යන ප්‍රාදේශීය සභාවල පාලන බලයද ජාතික ජන බලවේගයට මේ වනවිට අහිමි වී ඇති බවයි.
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ හොඳම ප්‍රාදේශීය සභාව බවට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව පත් කරන බව එම සභිකයින් කියා සිටියහ.
අප මේ පිළිබඳව ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක පා.ම. මංජුල සුරවීරආරච්චි මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, “පක්ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීමට තම පක්ෂයේ කිසිදු සභිකයකුට අයිතියක් නොමැති බවත්, විපක්ෂයේ සභිකයන්ගේ සහයෝගය මත නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිධුරය තම පක්ෂයට ලබා ගැනීමට කටයුතු කිරීම විනය විරෝධී ක්‍රියාවක් බවයි.
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරිපත් වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා මුණගැසී කරුණු පහදා දී යළිත් ඔවුන් තම පක්ෂය තුළ රඳවා ගැනීම සඳහා කටයුතු කිරීමට සභාපතිවරයාගේ නිවසට ගිය බවත්, ඔහු නිවසින් බැහැරව ගිය බවට ඔහුගේ බිරිඳ පැවසීමෙන් පසුව නිවසින් පිටව ආ බවත්, මින් ඉදිරියට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව තුළ ජාතික ජන බලවේගයේ කිසිදු සභිකයකු නොමැති බවට සලකා කටයුතු කරන බව මංජුල සුරවීර ආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටී.
නුවරඑළිය – නාලක රත්නායක