බාල වයස්කාරියක තනිවම යැවීම ගැන පොලිසියෙන් මව්පියන්ට දැඩිව අවවාද
මහනුවර හන්තාන කන්ද නැරඹීමට ගිය වයස අවුරුදු දොළහක පාසල් ගැහැණු ළමයෙකු ඇතුළු අට දෙනෙකුගෙන් සමන්විත තරුණ කණ්ඩායමක් රාත්‍රියක් පුරා එහි අතරමංව සිටියදී තලාතුඔය පොලිසිය හා යුද හමුදා කණ්ඩායමක් ඊයේ (29දා) අළුයම ඔවුන් සොයාගෙන උදෑසන පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

තලාතුඔය රටේමුල්ල ප්‍රදේශයේ පදිංචි ඥාතීන් හා මිතුරන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම වයස අවුරුදු දොළහ, පහළොව, විසිදෙක, විසි හතර යන වයස්වල පසුවන්නන් බව තලාතුඔය පොලිසිය පවසයි. සති අන්ත නිවාඩුව සමඟ මෙම පිරිස සෙනසුරාදා උදෑසන හන්තාන කන්ද නැග ඇති අතර එදින සවස හයයි පහළවට නැවත පහළට පැමිණීමට පිටත්ව තිබිණි. මේ දිනවල පවතින වර්ෂාව හා අධික මීදුම සමග මොවුන්ට මාර්ගය සොයා ගැනීමට නොහැකිව සිටියදී ඔවුන් ඒ බව සිය නිවාසවලට දන්වා තිබේ. ඒ අනුව දෙමව්පියන් හා ඥාතීන් එක්ව මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාට හා තලාතුඔය පොලිසියට දන්වා මෙම පිරිස සෙවීම ආරම්භ කර තිබේ.
රාත්‍රී දෙකට පමණ මෙම පිරිස ගැවසෙන ඉසව්ව සොයා ගෙන ඇති අතර අලුයම හතරට ඔවුන් මුදාගෙන තිබේ. ඉන් පසු එම ස්ථානයට පැමිණ තිබුණු සුවසැරිය ගිලන් රථ මගින් මෙම පිරිස අලුයම පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබේ. බාල වයස්කාර ගැහැණු දරුවෙකු තනිවම මෙම තරුණ පිරිස සමග යැවීම පිළිබඳව තලාතුඔය පොලිසිය එම දෙමව්පියන්ට දැඩිව අවවාද කර ඇති බවද පැවසේ.
තලාතුඔය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති කේ.බී.ටී. කුලතිලක මහතා ඇතුල් පොලිස් කණ්ඩායමක් හා යුද හමුදාව මෙම මෙහෙයුමට එක්ව තිබිණි.
ගම්පොළ – සුරංග දිල්හාන්