යතුරුපැදිය පැහැරගෙන ගිහින්
මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ ගල්කුලම ඉන්ධන පිරවුම්හල ආසන්නයේ දී පෙරේදා (25 දා) රාත්‍රී නාඳුනන තුවක්කුකරුවකු සිදු කරන ලද වෙඩි තැබීමකින් යතුරුපැදියක ගමන් කළ පුද්ගලයකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, වෙඩික්කරු විසින් තුවාලකරු පැමිණි යතුරුපැදිය රැගෙන පලා ගොස් ඇති බවත් තිරප්පනේ පොලිසිය පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ, ගල්කුලම සියඹලාගස්වැව ප්‍රදේශයේ පදිංචි, දිසානායකගේ සසිඳු ජීවන් දිසානායක හෙවත් ‘අක්කර පනහ මර්වින් සුද්දා’ නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි.
තුවාලකරු පෙරේදා (25දා) රාත්‍රී 8.45ට පමණ තම හිතවතකුගේ යතුරු පැදියක් ඉල්ලා ගෙන ගල්කුලම නගරය දෙසට ගමන් කරමින් සිටියදී, ගල්වඩුවාගම පිහිටි, ‘ගල්කුලම’ යනුවෙන් සඳහන් නාම පුවරුව අසලදී රාත්‍රී 9.10ත්, 9.15ත් අතර කාලයේ දී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ. වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව බරපතල තුවාල ලැබූ තුවාලකරු යතුරුපැදිය එම ස්ථානයේ දමා, වෙඩික්කරුවන්ගෙන් බේරීම සඳහා, ලේ ගලන තුවාල සහිතව මීටර් 500ක පමණ දුරක්, ගල් කුලම නගර මධ්‍යයේ ඇති ඉන්ධන පිරවුම්හල අසල ඇති ත්‍රිරෝද රථ ගාල දක්වා දිව ගොස් බිම ඇද වැටී ඇති බව ඇති බව පොලිසිය සඳහන් කළේය.
ඉන් අනතුරුව එම ස්ථානයේ සිටි පිරිස් ‘1990 සුවසැරිය’ ගිලන් රථයක් මගින්, තුවාලකරු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා ඇති බව ද පොලිසිය සඳහන් කළේය.
තුවක්කුකරු විසින් තුවාලකරු පැමිණි අංක ඊ්‍යන් 3723 අංක දරන හොන්ඩා ඩියෝ වර්ගයේ යතුරුපැදිය රැගෙන පලා ගොස් තිබේ. තුවාලකරු මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයකු බවට සැක කරන බවත් වෙඩික්කරු සහ තුවාලකරු අතර සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව සහ පලා ගිය වෙඩික්කරු සොයා අංශ කීපයක් විමර්ශන ආරම්භ කර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. රෝහල්ගත කළ තුවාලකරු සැත්කමකට භාජනය කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත, තිරප්පනය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරසිංහ මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.
මිහින්තලේ රංග චතූ