කිරිවෙහෙර නා හිමියෝ
දෙස් විදෙස් විශාල ජනතාවක් සහභාගී වන වාර්ෂික කතරගම ඇසළ මහ පෙරහැර මංගල්‍යය මෙවරත් අද (26දා) සිට ආරම්භ කරනු ලබනවා. ඉතින් ලෝකවාසී සියලුම දෙනාගෙන් අප ඉල්ලා සිටිනවා කිරිවෙහෙර සෑ රඳුන් වඳින්න එද්දී, කතරගම දෙවි හාමුදුරුවන් වඳින්න එද්දී ඔබ රැගෙන එන පොලිතින් ආදී කැළි කසළ තැන තැන බැහැර කරලා මේ පුදබිම අපවිත්‍ර කරන්න එපා කියලා. කැළි කසළ දැමීම සඳහා මෙවරත් අපි විශේෂිත වැඩ පිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒ තුළට පමණක්ම කැළි කසළ බැහැර කරන්න, යැයි කතරගම කිරිවෙහෙර රජ මහ විහාරාධිපති, රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නා හිමියෝ ඉල්ලා සිටියහ. උන්වහන්සේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසූ අතර එහිදී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවසීය. ඇසළ පෙරහැර මංගල්‍යයේදී ඔබ විවිධ පළාත්වල සිට මේ කතරගම පුදබිමට පැමිණෙන්නේ මහත් වූ ශ්‍රද්ධාවකින් හා බැතියකින් යුතුවයි. කිරිවෙහෙර සෑ රඳුන්ගේ, අෂ්ට ඵල බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබාගන්න මෙන්ම කතරගම දෙවියන් වෙනුවෙන් විවිධ බාරහාර ඔප්පු කරන්නයි. ඉතින් මේ එද්දී ඔබ පුදබිමට ඇවිත් වන්දනාමාන සිදු කරලා බාර හාර ඔප්පු කරලා යනවිට ඔබ රැගෙන ආ පොලිතින් ආදී කැළි කසළ පුදබිමේ විවිධ ස්ථානවලට බැහැර කරලා මේ පුදබිම අපවිත්‍ර කරලා යනවා කියන්නේ ඔබ කතරගමට ඇවිත් සිදුකළ පිංකම්වලින් ආශිර්වාදයක් ගන්න පුළුවන් වෙන එකක් නෑ. ඔබ මේ පුදබිමට එන්නේ සැදැහැති සිතින් වගේම ඔබ වන්දනා මාන සිදුකරලා යළි මේ පුදබිමෙන් යන්න ඕනෙත් සැදැහැති සිතින්ම තමයි. ඒ තුළ තමයි දෙවියන්ගේ බුදුන්ගේ ආශිර්වාදය ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ගිය වසරේදීත් පෙරහැර මංගල්‍යය අවසන් වනවිට මේ පුදබිමේ ඔබ ගෙනත් දමා තිබී ඝන අපද්‍රව්‍ය හා ප්ලාස්ටික් වතුර බෝතල් ආදි කැළි කසළ ටොන් ගණනාවක් පුදබිමේ සිට ඉවත් කරන්න කටයුතු කළා. ඒ නිසා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා ඔබ රැගෙන එන කැළි කසළ මේ පුදබිමේ තැන තැන දමන්න එපා කියලා.
මෙවර කතරගම වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය ජූනි මස 26 (අද) සිට ජූලි මස 10 වන දින දක්වා පැවැත්වෙනවා. එම පිංකමට සමගාමීව කිරිවෙහෙර සෑ රඳුන් ඉදිරිපිට පවත්වන සති පිරිත් පිංකම ජූලි 02 දින සිට 08 වන දින දක්වා පවත්වනු ලබනවා. මේ සඳහා සියලු ජනතාවට එක්වන්න කියලා ආරාධනා කරන ගමන්ම යළිත් මම සිහිපත් කරන්නේ පුදබිම අවට සෑම ස්ථානයකම කසළ බැහැර කරන්න ස්ථාන වෙනම ස්ථාපනය කරලා තියෙන බවයි. ඒ ස්ථානවලට ඇරෙන්න වෙනත් කිසිදු ස්ථානයකට කසළ බැහැර කරන්න එපා කියලයි. ඒ නිසා නිර්මාංශව, මත් පැන්වලින් තොරව සැදැහැති සිතින් බැතියෙන් යුතුව දෙවියන් බුදුන් වඳින්න එන්න කියන ඉල්ලීම කාරුණිකව කරනවා.
මත්තල – දිලීප් එන්. ජයසේකර