කතරගම දේවාලය යනු දුටුගැමුණු රජතුමා විසින් අතීතයේ නියම කළ රාජ්‍ය නියෝග නිසි ලෙස ඉටුකර දෙවියන් පුදන ඓතිහාසික පුදබිමකි.
රජවරුන් පාලනය කළ අප රටේ අන්තිම රජ වු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසින් විසින් 1815 දී අත්අඩංගුවට ගැනීමත් සමග ලංකාවේ පැවැති රජ අණ පනත් අහෝසි විය.
එහෙත් කතරගම පුදබිමේ ස්කන්ධ දෙවියන්ගේ සියලු කාර්යයන් අතීතයේ මෙන් වර්තමානයේ ද සිදු වන්නේ දුටුගැමුණු රජ අණ මතයි.
උදහරණයක් ලෙස දෙවියන්ගේ වෙලේ වී සහල් රැගෙන ඒමේ චාරිත්‍රයි. අතීතයේ මං මාවත් නැති යුගයේ බුත්තල පැල්වත්තේ කුඹුරු වල අස්වැන්න රැගෙන පැමිණියේ ගවයන් බැඳි තවලම මගිනි. අද වර්තමානයේ මාර්ග කාපට් වී දියුණු ප්‍රවාහන පහසුකම් පැවතියත් දෙවියන්ගේ වෙලේ වී රැගෙන එනු ලබන්නේ තවලම මගින්ය. වෙල් යායේ මැද පිහිටි දෙවියන්ගේ කුඹුරේ සී සෑම මී ගවයන් යොදා මඩ කර නින්දගම් ඉඩම් වල භුක්ති විඳින ගොවි ජනතාවගේ සහ යෝගයෙන් ඇස්වැන්න නෙළා තවලම මගින් ඇසළ මංගල්‍යය සමයේ දී වී සහල් රැගෙන විත් දෙවියන්ගේ දානය සකස් කිරීම සිදුවේ.
බුත්තල, පැල්වත්ත සිට වගුරුවෙල, ගෝනගංආර, වල්ලිඅම්මාර, යාල අංක 02 කලාපය ගල්ගේ අසලින් සෙල්ල කතරගම වෙත පැමිණි තවලම් බැඳි ගවයන් පිටින් වී සහල් ඊයේ (25දා) දින කතරගම දේවාලය වෙත රැගෙන පැමිණියහ.
මහ බෙත්මේ හා කුඩා බෙත්මේ අධිකාරම්වරුන්ට අයත් තවලම් මොහන්දිරම්වරුන් විසින් මෙම තවලම රැගෙන පැමිණ චාරිත්‍ර ඉටු කරන ලදි. මෙසේ රැගෙන පැමිණි වී සහල් පිරිසිදු කර දෙවියන්ගේ දානය පිදීමට කපුමහත්වරු ක්‍රියා කරති.
කතරගම – කේ.ඩී. දේවප්‍රිය