නැඟෙනහිර පළාතේදී පොලිස් නිලධාරියකු සහ තවත් පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ශිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.
මෙම ඝාතන ඉකුත් 2005 සහ 2007 අතර කාලසීමාවේදී සිදුවූ ඒවා බවද පොලිසිය පවසයි. පිල්ලෙයාන්ගේ නියෝග මත එවකට නැඟෙනහිර පළාතේ පොලිස් ස්ථානයක රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියකු වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇත.
ඊට අමතරව නැඟෙනහිර පළාතේ ධනවත් ව්‍යාපාරිකයකු සහ පිල්ලෙයාන්ගේ දේශපාලන පක්‍ෂයේම සාමාජිකයකු මරා දැමීම සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
මෙම ඝාතන සම්බන්ධයෙන් පිල්ලෙයාන්ගෙන් ඉදිරි දිනවලදී ප්‍රශ්න කිරීමට නියමිතය. මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් පිල්ලෙයාන් මේ වනවිටත් බන්ධනාගාරගතව සිටියි.
හේමන්ත රන්දුණු