කළුතර මහ නගර සභාවේ නගරාධිපති තනතුරට ජාතික ජන බලවේගයේ ධනුජ හෙට්ටිආරච්චි මහතා 17 – 13 ක් වශයෙන් ඡන්ද ලබාගෙන තේරී පත්විය.
ඒ කළුතර මහ නගර සභාවේ නව පොදු වෙළෙඳ සංකීර්ණ රැස්වීම් ශාලාවේදී සිදුකළ ඡන්ද විමසීමෙන් පසුවය. බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය සිදුකරන ලදී.
කළුතර මහ නගරාධිපති තනතුර සඳහා ස.ජ.බ. මන්ත්‍රී වීරසිංහ සුමිත් අර්ඩ්ලි ද සිල්වා සහ ජා.ජ.බ. මන්ත්‍රී එස්.එච්.ඩී.එන්. සෝමරත්න යන මන්ත්‍රීවරුන් ගේ නම් යෝජනා විය.
ඒ අනුව රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක් ද යන්න සම්බන්ධයෙන් බස්නාහිර පළාත් කොමසාරිස්වරිය විමසීමෙන් පසු සභාවේ ගාලගෝට්ටිය ඇරඹිණ.
ඒ අනුව මන්ත්‍රීවරුන් කෑකෝ ගසමින් හැසිරුණු අතර, එක් අවස්ථාවක බස්නාහිර පළාත් කොමසාරිස්වරිය වටකර ගන්නා අයුරු ද දැකගත හැකිවිය.
සභාව ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ලැබීමෙන් පසු කොමසාරිස්වරිය සභාව විනාඩි 10 කට කල් තබන ලදී. ඉන්පසුව නැවත සභාව රැස්වී රහස් ඡන්දයක්ද විවෘත ඡන්දයක්ද යන්න සම්බන්ධයෙන් බස්නාහිර පළාත් කොමසාරිස්වරිය ඉදිරියේ ඡන්දය විමසන ලදී.
එහිදී රහස් ඡන්දයක් පැවැත්වීමට ඡන්ද 16 ක් සහ විවෘත ඡන්දයක් පැවැත්වීමට ඡන්ද 14 ක් ලබාදී ඇති බව බස්නාහිර පළාත් කොමසාරිස්වරිය සභාවට දන්වන ලදී. එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වී තිබුණි. ඉන් පසු පැවති රහස් ඡන්දයේදී ස.ජ.බ. සුමිත් අර්ඩ්ලි සිල්වා මහතා ඡන්ද 13 ක් ලබාගෙන ඇති බවත්, ධනුජ සෝමරත්න මහතා ඡන්ද 17 ක් ලබාගෙන ඇති බවත්, එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වී ඇති බවත් කොමසාරිස්වරිය සභාවට දන්වන ලදී.
ඒ අනුව කළුතර නගරාධිපති තනතුරට ජා.ජ.බ. ධනූජ සෝමරත්න මහතා පත්විය. ඉන්පසු නියෝජ්‍ය නගරාධිපති තනතුරට මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රී අමීර් නසීර් සහ ස්වාධීන මන්ත්‍රී සුකුමාල් පෙරේරා යන මහත්වරුන්ගේ නම් යෝජනා විය. එය ද රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක් ද යන්න විමසීමට ඡන්දයක් විමසූ අතර ඡන්ද 17 ක් රහස් ඡන්දයක් ඉල්ලා ද, 13 ක් විවෘත ඡන්දයක් ඉල්ලා ද ඡන්දය ප්‍රකාශ කර තිබුණි.
පසුව පැවති ඡන්ද විමසීමෙන් පසු ස්වාධීන මන්ත්‍රී සුකුමාල් පෙරේරා මන්ත්‍රීවරයා ඡන්ද 16 ක් ද, අමීර් නසීර්මන්ත්‍රීවරයා ඡන්ද 14 ක් ද ලබාගෙන ඇති බවත්, එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වී ඇති බවත් කොමසාරිස්වරිය සභාවට දැනුම් දෙන ලදී.
ඒ අනුව ස්වාධීන මන්ත්‍රී සුකුමාල් පෙරේරා මන්ත්‍රීවරයා නියෝජ්‍ය නගරාධිපති තනතුරට පත්විය.
කළුතර මහ නගර සභාවක් ලෙස පුළුල් වීමෙන් පසු මන්ත්‍රී ආසන 31 ක් පවතින අතර, පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට මන්ත්‍රී 12 ක්, සමගි ජන බලවේගයට මන්ත්‍රී ධූර 8 ක්, එක්සත් ජාතික පක්ෂයට 3 ක්, මුස්ලිම් කොන්ග්‍රසයට ආසන 3 ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, සර්ව ජන බලය, ජාතික නිදහස් පෙරමුණ, ස්වාධීන ලෙසින් එක් මන්ත්‍රී ආසනය බැගින් ලබාගෙන තිබුණි.
වාද්දුව – සුමිත් පොතුපිටිය