බද්දේගම විමලවංස නාහිමියන් විසින් ආරම්භ කරන ලද විදේශ ධර්මදූත සේවයේ යෙදෙමින් ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ බුදු දහම නඟාසිටුවන්නට අනුපමේය මෙහෙයක නිරත වූ ශ්‍රී ලංකාවේ උපන් නළුවෙල ආනන්ද නාහිමියන්ගේ ශාසනික සේවයට උපහාර පුදකිරීමටත් උන්වහන්සේගේ මතක සටහන් ඇසුරෙන් රොඩ්නි විදානපතිරණ ලියූ මහා රාෂ්ට්‍රයේ දහම් පහන් ටැඹ කෘතිය ජනගත කිරීමටත් අභිනන්දන උත්සව දෙකක් සංවිධාන කර ඇත.
ආනන්ද නාහිමියන්ගේ උපන්ගම වූ නළුවෙලදී ජුනි 29 වැනිදා සවස 2.00 ට නළුවෙල ශ්‍රී ප්‍රියදර්ශනාරාමයේදී එක් අභිනන්දන උත්සවයක් පැවැත්වේ. නළුවෙල ශ්‍රී ප්‍රියදර්ශනාරාමාධිපති ශාස්ත්‍රපති මුල්ලේගම විමලානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් එම උත්සවය පැවැත්වේ.
අනික් අභිනන්දන උත්සවය ජූලි මස 05 වැනිදා සවස 2.30 ට ආනන්ද හිමියන් සසුන්ගත වූ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාල මහා පිරිවෙනේදී (ඕඩෙ පන්සල) පැවැත්වේ.
ශ්‍රී ලංකා විද්‍යාල මහා පිරිවෙනේ විහාරාධිපති මහාචාර්ය මැදගම නන්දවංශ නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වෙන එම උත්සවයේදී ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ විසිනි.
පසළොස්වැනි වියේදී බොම්බායට පැමිණ ධර්මදූත සේවයේ යෙදෙන අතර ආනන්ද හිමි විඳි අපමණ දුෂ්කරතා හා දුක් ගැහැට මහාරාෂ්ට්‍රයේ දහම් ටැඹ කෘතියෙන් විස්තර කෙරේ.