ආනන්ගොඩ, වැවේගොඩවත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ (23 දා) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බැව් අක්මීමන පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් මෙම නිවසට වෙඩි තබා පලා ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත. වෙඩි තැබීමෙන් නිවසේ සිටි කිසිවකුටවත් තුවාල සිදුවී නැති බව ද පොලිසිය පවසයි. නිවසේ ජනෙලයකට හානි වී ඇත.
අදාළ නිවස හිමි පුද්ගලයා මිදිගම ප්‍රදේශයේ පළතුරු බීම කර්මාන්ත ශාලාවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වන අතර ඔහු මීට දින කිහිපයකට පෙර එහි සේවකයකුගේ ගැටලුවක් හේතුවෙන් එම සේවකයා සේවයෙන් ඉවත් කර තිබේ.
අදාළ සේවකයා විසින් ඔහුට දුරකථන ඇමතුම් ලබා දී මීට පෙර තර්ජනය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් මිදිගම පොලිසියට පැමිණිල්ලක් ද කර ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
ගාල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණයට යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල, අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල් – අක්මීමන,