මෝටර් රථය පැදවූ සැකකරු හිදෝගම සැඟවී සිටියදී දැලේ
මත්පැන් පානය කර, මෝටර්රථයක් පදවා යතුරුපැදියකින් ගමන් කළ මවක සහ දියණියක අනතුරට ලක් කර තුවාල සිදු කර පලා ගොස් සැඟව සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව හිදෝගම පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගුවන්තොටුපළ පොලිසියේ රාජකාරි සිදු කරන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකි.
පෙරේදා (22 දා) රාත්‍රී 7.45ට පමණ සැකකාර පොලිස් කොස්තාපල්වරයා ධාවනය කරවූ මෝටර්රථය, හිදෝගම පොලිස් වසමේ කුඩා නෙළුබෑව රෝහල ඉදිරිපිට දී යතුරුපැදියක ගැටීමෙන් අනතුරුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා පලා ගස් තිබූ බව පොලිසිය සඳහන් කළේය.
එම අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ හිදෝගම පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් සැරයන්වරුන් වන ප්‍රනාන්දු (23364), වර්ණසූරිය (46669) යන මහත්වරු සැකකාර පොලිස් කොස්තාපල්වරයා හිදෝගම පහලවැව ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත්හ.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන බීමත්ව සිටියේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා ශ්වසන පරීක්ෂාවක් සිදු කිරීමෙන් අනතුරුව, නාච්චාදූව රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු බීමත්ව සිටි බව තහවුරු වූ බව ද පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ රියැදුරු බලපත්‍රයක් නොතිබූ බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ මව සහ දියණිය කුඩා නෙළුබෑව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකාර ආධුනික පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මිහින්තලේ – රංග චතූ