මාර්ග අංක 120 කැස්බෑව-කොළඹ පෞද්ගලික බස් රථ රියැදුරෙක් මත්ද්‍රව්‍ය භාවිතා කර බස් රථය පැදවීම හේතුවෙන් පිළියන්දලට යෑමට දිවුල්පිටිය හන්දියෙන් බසයට ගොඩවීමට ගිය මගියෙක් බස් රථය එක්වර ධාවනය වීමෙන් ඉන් ඇද වැටී මියයෑම සම්බන්ධයෙන් එහි රියැදුරු බොරලැස්ගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ බොරලැස්ගමුව, දිවුල්පිටිය පදිංචි 75 හැවිරිදි විශ්‍රාමිකයකු බව පොලිසිය කියයි. ඉකුත් (20) දින උදෑසන පිළියන්දල නගරයට යෑමට බස් නැවතුමේ රැඳී සිට ඇති මියගිය අය කොළඹ සිට කැස්බෑව බස්රථයට ඉදිරිපස දොරටුවෙන් ගොඩවීමට පෙර රියැදුරු බස්රථය ධාවනය කිරීම නිසා මෙසේ ඇද වැටී ඇත. පසුව තුවාලකරු ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කළද තත්ත්වය බරපතල බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතත් එහිදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙහිදී පොලිසිය විසින් බස්රථ රියැදුරු රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කෙරුණු අතර එහිදී රියැදුරු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවත් ඒ මොහොත වන විටත් මත්ද්‍රව්‍ය භාවිතා කර සිට ඇති බවට පරීක්‍ෂණ වලදී අනාවරණය වූ බවත් පොලිසිය කියා සිටියි.
කොළඹ-කැස්බෑව පුද්ගලික බස්රථ රියැදුරන්ගෙන් බොහොමයක් මත්ද්‍රව්‍ය භාවිතා කර අපරික්ෂාරී ලෙස බස් ධාවනය හේතුවෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී මගීන්ගේ ජීවිත අහිමිවීම්, අත්පා අහිමි වූ මෙන්ම මාරාන්තික තුවාල සිදු වී ඇති බවද පොලිසිය කියයි. මෙවන් පසුබිමක් තුළ පුද්ගලික බස්රථ රියැදුරු, කොන්දොස්තර
ගමන් වාර ආරම්භයට පෙර හා කඩින් කඩ පරීක්ෂාවට ලක්කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඉහළ නිලධාරීන්ගේ අවධානය යොමු වන්නේ නම් එය බස්
මගීන්ගේ ජීවිත ආරක්‍ෂා කෙරෙන වැඩ පිළිවෙළක් බැවින් මේ පිළිබදව අවධානය යොමු කර ජනතා ජීවිත ආරක්‍ෂා කර දෙන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේද විමල ගුණරත්න මහතාගේ අධීක්ෂණය මත රථවාහන අංශය ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් කොස්‌තාපල්වරුන් වන 35480 සුමතිපාල හා 102061 කුමාර යන නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.
පින්සිරි ආරියරත්න – රත්මලාන