හම්බන්තොට විශාල ගැටලුවක්:
දිස්ත්‍රික්කය තුළ පවතින යූරියා පොහොර හිඟය හා බණ්ඩි පොහොර (එම්.ඕ.පී) හිඟය හේතුවෙන් තම වී වගාවට අවශ්‍ය යූරියා පොහොර යෙදුම් සිදුකිරීමට නොහැකි වී මෙන් තමන් අසරණ වී ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි ගොවීහු පවසති.
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අධික වියදමක් දරා ආරම්භ කළ වී වගාවට දින 45ක පමණ කාලයක් ගත වී ඇතත් වී වගාවට මෙතෙක් යොදා ඇත්තේ දින 20 – 25 අතර කාලය තුළ යෙදිය යුතු යූරියා පොහොර ප්‍රමාණය පමණක් බව ගොවීහු පවසති. දින 30-35 ත් අතර කාලය තුළ යෙදිය යුතු දෙවන යූරියා පොහොර යෙදුම හා දින 40-45 අතර කාලය තුළ යෙදිය යුතු එම්.ඕ.පී. පොහොර සහ යූරියා පොහොර යෙදුම ද මෙතෙක් වී වගාවට සිදුකර නැතැයි ගොවීහු කියති.
වෙළෙඳ පොළේ යූරියා පොහොර හා බණ්ඩි පොහොර (එම්.ඕ.පී.) නොමැති වීමෙන් මෙම තත්ත්වය ගොවීන්ට උදා වී තිබේ. මේ සම්බන්ධයෙන් ගොවි නියෝජිතයන් හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී පොහොර ලේකම් කාර්යාලයෙහි දිස්ත්‍රික් කළමනාකරුගෙන් කළ විමසුමේදී රජය මැදිහත් වීමෙන් ගෙන්වන ලද පොහොර තොගය මෙතෙක් මෙරටට නොපැමිණීම මෙම පොහොර හිඟයට හේතු වූ බව එම නිලධාරියා පැවැසූ බව කිරිඳිඔය ඒකාබද්ධ ගොවි සිමිති සංගමයෙහි ලේකම් උපාලි අරඹගේ මහතා පැවැසීය.
ඊශ්‍රායල සහ ඉරානය අතර පවතින යුද්ධය මෙම පොහොර හිඟයට තවදුරටත් බලපෑමක් එල්ලවිය හැකි බවද එම නිලධාරියා පවසා තිබේ. වී වගාවට අවශ්‍ය යූරියා හා අනෙකුත් පොහොර වර්ග ගොවියාට කඩිනමින් ලබාදීමට රජය පියවර නොගතහොත් වී අස්වැන්නේ සැලකිය යුතු අඩුවක් සිදුවන බවද උපාලි අරඹගේ මහතා පවසයි.
දෙබරවැව – ඒ. ඒ. පේමසිරි