පොලිස් බෑනයි නැන්දම්මයි ගුටි කෙළියක
නිල ඇඳුමින් ලැඟුම් හලේ සිටි සැරයන්වරයාගේ වැඩ තහනමට
විභාග වන නඩුවක සාක්ෂි දීම සඳහා ගම්පොළ මූලස්ථාන පොලිසියෙන් නාවලපිටිය අධිකරණය වෙත ගිය දෙදරු පියකු වූ හතළිස් හැවිරිදි පොලිස් සැරයන්වරයකු විසි හැවිරිදි අනියම් බිරිඳක් සමග නාවලපිටිය ලැගුම් හලක සිටියදී හසුව ගම්පොළ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා ඔහුගේ වැඩ තහනම් කොට ඇත.
මෙසේ වැඩ තහනමට ලක් කොට ඇත්තේ ගම්පොළ රථ වාහන අංශයේ කලක් සේවය කොට දැනට පොලිස් හදිසි ඇමතුම් අංශයේ සේවය කරන 66742 එරන්ද බන්දුල ධර්මසේන නමැති සැරයන්වරයාගේය.
මොහු කලක් නාවලපිටිය පොලිසියේ සේවය කොට ඇති අතර එහිදී නාවලපිටිය, බවුවාගම පදිංචි මෙම විසි හැවිරිදි තරුණිය සමග අනියම් සම්බන්ධයක් පැවැත්වීම මත ඔහු ගම්පොළ පොලිසිය වෙත මාරු කොට තිබී ඇත.
පසුව නාවලපිටිය අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා මොහු නිල ඇඳුමෙන් ඒ සඳහා සහභාගි වී එම කටයුතුවල නිරත වන ආකාරය උසස් නිලධාරීන්ට හැඟෙන ලෙස කටයුතු කරමින් මෙම තරුණිය ගෙන්වාගෙන පොලිස් නිල ඇඳුමෙන්ම නාවලපිටිය, මීපිටිය ප්‍රදේශයේ ඇති හෝටල් කාමරයක් වෙත ඇය රැගෙන ගොස් ඇත. මේ පිළිබඳව දැන ගත් එම තරුණියගේ මව හා සහෝදරයා මෙම හෝටල් කාමරය වෙත කඩා පැන සිය දියණිය ගැන සොයා බලමින් සිටියදී මෙම සාජන්වරයා එම මවට පහර දී දියණිය පැහැරගෙන ගියයි එම මව විසින් නාවලපිටියේ පොලිසිය වෙත පැමිණිල්ලකොට ඇය නාවලපිටිය රෝහලට ඇතුළත්වී ඇත.
ඒ අතරේ මෙම සාජන්වරයා හා කාන්තාව යතුරුපැදියෙන් පලා ගොස් ඇති අතර පසුව ඔවුන් දෙදෙනාද සහෝදරයා විසින් පහර දුන්නැයි පවසා ගම්පොළ රෝහලට ඇතුළත්ව ඇත. විවාහක දෙදරු පියකු වන මෙම පොලිස් නිලධාරියා නිල ඇඳුමෙන් අනියම් සම්බන්ධතාවක් පවත්වමින් ලැගුම්හලක සිටි චෝදනාව මත සිදු කළ පරීක්ෂණයකින් පසු ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතා විසින් පවත්වනු ලැබූ පරීක්ෂණයෙන් පසු මෙසේ ඔහුගේ වැඩ තහනම් කොට ඇත. පහරදීම් පිළිබඳව චෝදනා සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරීක්ෂණයක් අරඹා ඇත.
ගම්පොළ – සුරංග දිල්හාන්