පිටකොටුවේදී අත්අඩංගුවට
ජාවාරම්කරු පැනගනී
රුපියල් කෝටි අටකට අධික වටිනාකමෙන් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පොලිස් අණ නොතකා පලායමින් තිබූ මෝටර් රථයක් පිටකොටුව රෙක්ලමේෂන් මුහුදු මාර්ගයේදී පෙරේදා (16දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ ජවාරම්කරු පොලිසියෙන් මිදි පලාගොස් තිබේ. ජාවාරම්කරු සතුව මෝටර් රථයේ සඟවා තිබූ අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 4ක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
වෙරළබඩ පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි නාගරික රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු පෙරේදා රාත්‍රියේදී සුදු පැහැති මෝටර් රථයක් නතර කිරීමට උත්සාහ කර තිබේ. ඒ අවස්ථාවේ මෝටර් රථය පොලිස් අණ නොතකා පිටකොටුව රෙක්ලමේෂන් පාර ඔස්සේ ධාවනය කර ඇත. ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනා මෝටර් රථය ලුහුබැඳ ගොස් ඇත. එහිදී මෝටර් රථයේ පැමිණි පුද්ගලයා රථය අතහැර දමා පලාගොස් තිබේ.
පොලිස් නිලධාරීන් පලායන සැකකරු පසුපස පන්නාගෙන ගොස් ඔහු අත්අඩංගුවට ගෙන මෝටර් රථය තිබූ ස්ථානයට පැමිණ ඇත. පසුව මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4ක් සොයාගෙන තිබේ.
සැකකරු අයිස් තොගය සමග පොලිසියට රැගෙන ඒමට උත්සාහ කිරීමේදී ඔහු පොලිසියෙන් මිදි පලාගොස් ඇත. පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ මෙහෙය වීමෙන් විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු