ටිකිරි ටිකිරි ටිකිරි ලියා
කළෙත් අරන් ළිඳට ගියා
ළිඳ වට කර කබරගොයා
කකුල කාපි දියබරියා
දශක කීපයකට පෙරාතුව ගැයූ මෙම ගීතය පුංචි දරුවන් අතර ප්‍රසිද්ධය. පුංචි දරුවන්ව බියගැන්වීම සඳහා අම්මලා මෙම ගීතය කියන්නේ දරුවන් ළිඳ ළඟට යෑම නවත්වා ගැනීමටයි. මක්නිසාද මෙයට සියවසකට පමණ පෙරාතුව ගෙවල් අසල ළිඳක් සෑම නිවසක වගේම පැවත ඇත. අද මෙන් ළිංවලට කොන්ක්‍රීට් කැට දමා වටේම බිත්තිවලින් ළිඳ ආවරණය කර තිබුණේ ධනවත් පැලැන්තියේ යැයි සම්මත නිවෙස්වල පමණි. නමුත් අද වනවිට නාගරිකව මෙම ළිං සංස්කෘතිය අභාවයට ගොස් එය නගරයේ පොදුවේ බෙදාදෙන මීටරය සහිත බටයකට සීමාවී පවතී. නමුත් ග්රාමීයව වගේම සමහර නාගරිකවද වැඩි ඉඩකඩක් පවතින භූමිවල ළිං කැපීම තවමත් සිදු කරයි. නළ ජලයට වඩා භූමියේ කනින ළිඳකින් ලබාගන්නා ජල මූලාශ්‍රය සම්පතක් වශයෙන් අදටත් සලකන අය සිටීමත් තම ගෙවත්තේ වගා කටයුතු සඳහා මහ පොළවෙන් නොමිලේ ලැබෙන අසීමිතව ජලය තම කෘෂිකාර්මික හා පරිභෝජනය සඳහා මුදල් ගෙවීමකින් තොරව ලබා ගැනීමට හැකියාව පැවතීම ඊට හේතු වී තිබේ. ළිඳ නිවසක ප්‍රාණය මෙන්ම නිවැසියන්ට සම්පතකි. වාස්තු විද්‍යානුකූලව නිවසකට ළිඳක් ඉදිකිරීම සම්බන්ධයෙන් කෙරෙන ශාස්ත්‍රීය කටයුතු නම් කර ඇත්තේ කූප ශාස්ත්‍රය ලෙසයි. ශුභදායකව ඉදිකළ කූපය එම නිවසට සතුට සෞභාග්‍යය වාසනාව ධණය ලබා දෙනු ලබයි.

වාස්තු විiාවට පටහැනිව අශුභ ලෙස ඉදිකළ ළිඳ එම නිවසේ නිවැසියන්ට අපිරිසිදු පරිහානියට පත්ව බීමට නුසුදුසු ලෙසින් ජලය ලැබෙනවා පමණක් නොව නිවැසියන්ට නොයෙක් කරදර පීඩා, විපත්, මරණ, ඇතිකරන බව එකල සිටි ඍෂිවරුන් විසින් පෙන්වා දී නිවැරදිව ළිඳක් කපා ගන්නා ආකාරය පිළිබඳ කූප ශාස්ත්‍රය තුළින් ලෝකයාට පෙන්වා දී තිබේ. වාස්තු විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණවලදී ග්රාමීයව දැකිය හැකි හඳුනා ගැනීමට පවතින නිවසේ වාස්තු දෝෂ අතර ළිඳ ප්‍රධාන තැනක් ගන්නේය. එම නිසා භූමියේ ළිඳක් කැපීමට පෙරාතුව වාස්තු ශිල්පියකුගේ උපදෙස් මතම ක්‍රියා කරමින් කටයුතු කරයි නම් බොහෝ වාස්තු දෝෂ මගහරවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ළිඳක් ඉදිකිරීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු අතර දිශාව ඉතාමත් වැදගත් වන්නේය. විශ්වය නිර්මාණය වී ඇති ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන පංච මහා ශක්තීන් අතර ජල මූලාශ්රයන්වලට මූලික වන ආපෝ හෙවත් ජල ධාතුව සක්‍රීය වන දිශාවන් වන්නේ උතුර, ඊශාන හා නැඟෙනහිර දිශාවන්ය. බටහිර දිශාවට ද ළිඳක් පැවතීම සාමාන්‍ය වශයෙන් අශුභ නොවේ. නමුත් තේජෝ ධාතුව සක්‍රීය වන ගිනිකොන, දකුණ යන දිශාවල ළිඳක් සැකසීම බොහෝ කරදර විපත්වලට හේතු දෙන්නක් වේ. ගිනිකොන දිශාව තුළ ළිඳක් පැවතීම නිසා ආපෝ ධාතුව හා තේජෝ ධාතුව අතර
ගස්ටනයක් හටගනී. එහි ප්‍රතිඵල වන්නේ ධනය, නිරෝගිකම බලවත් ලෙස හානියට පත් වීමත් ගිනිකොන ළිඳ නිසා එම නිවසේ පුත්‍රයන්ට මාරක විපත්, අනතුරු සිදුවීම හෙවත් පුත්‍ර හානි වශයෙන් කූප ශාස්ත්රයේ පෙන්වා දී තිබීමයි. ඒ වගේම දකුණ ළිඳ සැකසීම එම නිවසේ ගෘහ බිරිඳට විපත්, කරදර ගෙන දෙන අතර එය හඳුන්වන්නේ ස්ත්‍රී හානි වශයෙනි.
නිරත දිශාව හෙවත් ගෘහ මූලිකයාගේ දිශාව තුළ ළිඳක් හෝ පොළොව මතුපිටින් අභ්‍යන්තරය දක්වා කනින ළිඳ ආවටයක් සැකසීම නිසා එම නිවසේ ගෘහමූලිකයාට නොයෙක් පීඩා ධන විනාශය මරණය පවා ඇතිකරන බව කූප ශාස්ත්රයේ පෙන්වා දේ. ඒ වගේම උතුරු දිශාව, ඊශාන දිශාව, නැඟෙනහිර දිශාව තුළ කූපයක් සැකසීමෙන් සැපත, ඉසුර, ධනය අත්වෙන බව පැවසේ.
භූමියේ බ්‍රහ්මපාදය හෙවත් ගිනිකතුර පිහිටි ස්ථානයේ ළිඳක් සැකසීම ද විනාශයට හේතුවක් වන බව පැවසේ. නිවසේ අත්තිවාරමේ සිට ළිඳට පවතින දුර ප්‍රමාණයක් පවතී. එය ගණන් ගන්නේ ගෙයි අත්තිවාරමේ සිට ළිඳේ පරිධිය දක්වා ගෘහ හිමියාගේ අතේ රියන අනුවයි. ඒ අනුව රියන් 7, 35, 23, 24, 27, 28 හා 40 පමණ දුරකින් ළිඳ පිහිටා තිබීම ශුභදායක වන්නේය. රියන් 60කට වඩා එනම් සාමාන්‍යයෙන් අඩි 90කට වඩා දුරකින් ළිඳ පිහිටා තිබේ නම් එයින් කිසිම අශුභයක් හට නොගනු ඇත.

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
දුරකථන අංකය- 0777856649.